වාර්තා බිද දමමින් එංගලන්තයට දැවන්ත ජයක්

338
Jason Roy and Alex Hales

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය ඊයේ (24) එංගලන්තයේ බ්‍රිමින්හැම් හිදී පැවැත්විණි. මෙම තරඟය වාර්තා පොත් අලුත් කරමින් එංගලන්ත කණ්ඩායමට කඩුලු 10 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමින් අවසන් විය.

පසුගිය ලිපි: තරඟය සමවෙමින් අවසන් පන්දුවේදී ක්‍රිකට් ජයගනී

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙම තරගයේ දී එක් වෙනස්කමක් සහිතව පිටියට අවතීර්ණ විය. ඒ දසුන් ශානක වෙනුවට සුරාජ් රන්දිව් ඇතුළත් කර සිදුකර තිබු වෙනස්කමයි. ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට කුසල් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක සමත් විය. උපුල් තරංග අවසන් අවස්ථාවේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සෑහීමකට පත්විය හැකි ලකුණක් වෙත ගෙනයාමට සමත් විය. තරංග 4 පහරවල් 5 ක් හා 6 පහරක් සමඟ ලකුණු 53 ක් නොදැවී  ලබාගැනීමට සමත් විය. දිනේෂ් චන්දිමාල්   4 පහරවල් 3 ක් සමඟ ලකුණු 53 ක් ලබාගැනීමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් 4 පහරවල් 3 ක් සමඟ  ලකුණු 44 ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 254-7 (50) උපුල් තරංග 53*, දිනේෂ් චන්දිමාල් 53, ඇන්ජලෝ මැතිව්ස් 44, කුසල් පෙරේරා 37,  අදිල් රශීඩ් 2/34, ලෙයිම් පලන්කට් 2/49

අනතුරුව තම ඉණිම ආරම්භ කරමින් ඇලෙක්ස් හේල්ස් හා ජේසන් රෝයි එංගලන්තය වෙනුවෙන් පිටියට පැමිණි අතර ඔවුන් පළමු පන්දුවේ සිටම යම් සැලැස්මකට අනුව ක්‍රීඩා කරන බව පෙනෙන්නට විය. ඔවුන් තරඟය මුල සිටම කලබලකාරී පහරවල් වලට  නොගොස් අවශ්‍ය ලකුණු එක දෙක ගෙන තරගයේ අවසන් භාගයේ දී දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් 4 පහරවල්, 6 පහරවල් වරුසාවක් එක දිගට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කරන ලදි.

නොදැවී ක්‍රීඩා කල හේල්ස් තම තෙවන ශතකය හා තම වැඩිම පෞද්ගලික ලකුණු වාර්තා කරන ලදි. ඔහුගේ ඉණිම 4 පහරවල් 10 ක් හා 6 පහරවල් 6 කින් වර්ණවත් කරමින් ලකුණු 133* ක් නොදැවී ලබාගැනීමට හේල්ස් සමත් විය. හේල්ස් ට දෙවැනි නොවූ රෝයි ද තම දෙවන ශතකය සමඟ වැඩිම පෞද්ගලික ලකුණු වාර්තා කරන ලදි. ඔහුගේ ඉණිමට 4 පහරවල් 7 ක් හා 6 පහරවල් 4 ක් සමඟ නොදැවී ලකුණු 112* ලබාගැනීමට රෝයි සමත් විය.

ඔවුන් දෙදෙනා වසර 13 ක් පැරණි වාර්තාවක් බිඳ දමමින් එංගලන්තය වෙනුවෙන් පළමු කඩුල්ල සදහා පැවැත්වූ වැඩිම ලකුණු සබඳතාවය මෙම තරගයේ දී ලකුණු 256 ක් ලෙස පවත්වා වාර්තා පොත්  අලුත් කිරීමට සමත් විය.

මෙම තරඟය අතර තුරදී චන්දිමාල් අබාධයකට ලක්විය. ඔහු පන්දු රැකීමට පිටියට නොපැමිණි අතර ඔහුගේ වගකීම කුසල් පෙරේරා විසින්  ඉටුකරන ලදි. තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටියේ  පන්දු රුකීම තවත් වර්ධනය විය යුතු බව මනාව වැටහිණි.

එංගලන්ත කණ්ඩායම256 – 0 (34.1) ඇලෙක්ස් හේල්ස් 133* , ජේසන් රෝයි 112*

**තරඟයේ වීරයා ලෙස එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි සම්මානය දිනාගන්නා ලදි.**

තරගාවලියේ තරඟ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟය ලබන 26 වන දා එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව ඇත.මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ඇරඹීමට නියමිතය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට