ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්

628
@AFP PHOTO

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය සමඟ තරගයේ දී තුන් ඉරියව්වෙන්ම අසාර්ථකත්වයට පත් ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරකයන් හමුවේ ලකුණු 163ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙය බංග්ලාදේශ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලද දැවැන්තම තරග ජයග්‍රණය ලෙස ද සටහන් විය.

[rev_slider LOLC]

තියුණු සටනකින් පසු ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරදියි

පසුගිය දා ආරම්භ වූ බංගලාදේශ, ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට්…

ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා දුන් ලකුණු 321ක අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32.2ක දී සීමා කළ ශකීබ් අල්හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ එම ඓතිහාසික ජයග්‍රහණයට මංපෙත් විවර කර දුන්හ. මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ දැවැන්තම තරග ජයග්‍රහණය ලෙස සටහන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2012 වසරේ කුල්නාහිදී වාර්තා කරන ලද ලකුණු 160ක ජයග්‍රහණය යි.

අදාළ හඹා යෑමේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගයේ දී සාර්ථක වුන කුසල් පෙරේරා, ලකුණු නොලබාම දැවී ගිය අතර උපුල් තරංගට එක්වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත විය. එහෙත් මොර්ටාසා විසින් තරංගව දවා ගැනීමත් සමඟ එම සම්බන්ධතාව ද ලකුණු 41ක දී බිඳ වැටුණි. කෙසේ වෙතත් එය ශ‍්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ හොඳම සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවට පත්වූයේ පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලද තිසර පෙරේරා වන අතර ඔහු හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් පන්දු 14ක දී ලකුණු 29ක් රැස් කළේය. ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායම මෙහෙයවූ දිනේෂ් චන්දිමාල් කඩා වැටුණු ශ‍්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළ ද, කඩුලු අතර දිව යෑමේ දී ශකීබ් අල්හසන් සුපිරි ලෙසින් කඩුල්ල වෙත පන්දුව දමා ගැසීම නිසා චන්දිමාල්ගේ ඉනිම ලකුණු 28ක දී අවසන් විය.

සමස්තයක් ලෙස බැලීමේ දී ශකීබ් කඩුලු ත‍්‍රිත්වයක් ආසන්නයට පැමිණීම හැර සැලකිය යුතු කිසිවක් ශ්‍රී ලංකා ඉනිමෙන් වාර්තා නොවීය. 26 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට අසේල ගුණරත්නව දවාගත් ශකීබ් අනතුරුව වනිදු හසරංගව දවා ගනිමින් කඩුලු ත්‍රිත්වය අභිමුවට පැමිණියේය. පිතිකරු වටා පන්දු රකින්නන් රඳවමින් දැල එලූ නමුත්, එයින් ආරක්ෂා වීමට අකිල ධනජය සමත් වීම නිසා කඩුලු ත්‍රිත්වය ශකීබ්ට සිහිනයක්ම විය. පිත්තෙන් ලකුණු 67ක්, පන්දු යවමින් ලකුණු 47කට කඩුලු 3ක් සහ එක් දුවද්දී දැවී යෑමකට දායකත්වය දුන් ශකීබ් අල් හසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ‍්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමක් ලකුණු 300 සීමාව ඉක්මවූ දෙවැනි අවස්ථාව ලෙසිින් සටහන් වුන මෙම ඉනිම වෙනුවෙන් ලකුණු 84කින් දායකත්වයක් ලබා දීමට තමීම් ඉක්බාල් සමත් විය. උඩපන්දු ගිලිහී යෑම්, ස්ටම්ප් කිරීම් මඟ හැරීම් සහ දුවද්දී දවා ගැනීම් ආදී වටිනා අවස්ථාවන් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යෑමෙන් වරම් ලද එනමුල් හක් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක් එක් කිරීමට තමීම්ට සහයෝගය ලබා දුන්නේය.

සුරංග ලක්මාල් යැවූ ආරම්භක පන්දුවාරයේ තෙවැනි පන්දුවටම ලබා දුන් උඩපන්දුව දෙවැනි ස්ලිප් ස්ථානයේ පන්දු රැකි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යෑමෙන් වරම් ලද හක් ලකුණු 35ක් දක්වා සිය ඉනිම ඉහළ දමාගත්තේය. පළමු උඩපන්දුව ලකුණු 2 දී ලබා දුන් හක් ලකුණු 25ක් ලබා සිටිය දී අකිල ධනංජයගේ පන්දුවකට ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ද, ලකුණු 34ක් ලබා සිටිය දී චන්දිමාල්ට උඩපන්දුවක් ලබා දුන් නමුත් ඒ සියල්ල ඔවුන් අතින් ගිලිහී ගියේය.

මැතිව්ස්ට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළව පැවැත්වෙන තුන්කොන්…

අකිල ධනංජයගේ පන්දුවක් තමීම් ඉක්බාල්ගේ පිත්තේ වැදී නිරෝෂන් දික්වැල්ල උඩපන්දුව රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීම දැවී යෑමක් නොවන බවට ප්‍රධාන විනිසුරු සංඥා කිරීමත් සමඟ එය තෙවැනි විනිසුරුගේ විමසීම සඳහා ඉදිරිපත් කෙරුණි. ඒ අනුව කරන ලද නිරීක්ෂණයේ දී එය පැහැදිළිවම දැවී යෑමක් ලෙස දර්ශනය වීම නිසා 09 වැනි එක්දින ශතකය පෙනෙන මානයේ සිට අකමැත්තෙන් වුවද එය 40 වැනි අර්ධ ශතකය ලෙස තබමින් පිටියෙන් ඉවත්වීමට තමීම්ට සිදු විය. ඒ වන විටත් පන්දු 102කට මුහුණ දී සිටි තමීම් තම ඉනිම හයේ පහර 2කින් සහ හතරේ පහර 7කින් සරසා ගෙන තිබුණි.

බංග්ලාදේශ ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව බවට පත්වූයේ ඉක්බාල් සහ අල්හසන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86ක දී ගොඩනංවන ලද ලකුණු 99ක සම්බන්ධතාවය යි. පන්දු 63කට මුහුණ දුන් ශකීබ් අසේල ගුණරත්න යැවූ පන්දුවකට පෙරළා ඔහු අතටම උඩපන්දුවක් දෙමින් දැවී යන විට සිය 36 වැනි අර්ධ ශතකය රුස්කරගෙන සිටියේය. හතරේ පහර 7ක් පමණක් ඇතුළත් වූ ශකීබ්ගේ ලකුණු 67ක ඉනිම සඳහා හෙතෙම පන්දු 63කට පමණක් මුහුණ දී තිබුණේය.

මැද පෙළින් බංග්ලාදේශ කණ්ඩායම ශක්තිමත් කළ මුෂ්ෆිකර් රහීම් පන්දු 52ක දී ලකුණු 62ක් රැස් කරන ලද්දේ ශකීබ් දැවී යෑමට පෙර තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53ක දී ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනංවමිනි. තිසරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රහීම් පිටියෙන් ඉවත්වන විට මුලු ලකුණු සංඛ්‍යාව 284ක් ලෙස දිස්විය.

එහෙත් සටන අත්නොහළ සබීර් රෙහ්මාන් පන්දු 12ක දී ලකුණු 24ක් රැස් කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව තවදුරටත් ඉහළට රැගෙන ගියේ මොහොමඩ් සෆියුඩීන් සමඟ සුරංග ලක්මාල් විසින් ක්‍රියාත්මක කරන ලද ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 19ක්ම උදුරා ගනිමිනි.

ශ්‍රී ලංකා යෞවනයන්ගේ අර්ධ අවසන් පූර්ව සිහිනය බිඳ වැටෙයි

මුල්පෙළ පිතිකරුවන් සිය වගකීම ඉටු කරන්නට යළිත් අසමත් වීමත් සමඟ ලෝක…

වෙනස්කම් දෙකක් සහිතව මෙම තරගයට ශ‍්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ වූ අතර මැතිව්ස් වෙනුවට නිරෝෂන් දික්වැල්ලත්, දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් ප‍්‍රදීප්වත් කැඳවමිනි.

බංග්ලාදේශය කඩුලු 7ට ලකුණු 320 යි (50) :  තමීම් ඉක්බාල් 84, එනමුල් හක් 35, ශකීබ් අල්හසන් 67, මුෂ්ෆිකර් රහීම් 62, මහමුදුල්ලා 24, සබීර් රෙහ්මාන් නොදැවී 24, තිසර ප‍ෙරේරා 60/3, නුවන් ප‍්‍රදීප් 66/2

ශ‍්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 157 යි (32.2) : තිසර ප‍ෙරේරා 29, දිනේෂ් චන්දිමාල් 28, උපුල් තරංග 25, කුසල් මෙන්ඩිස් 19, නිරෝෂන් දික්වැල්ල 16, අකිල ධනංජය 14, ශකීබ් අල්හසන් 47/3, රුබෙල් හෙසේන් 20/2, මෂ්රෆී මොර්ටාසා 30/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<