ශ්‍රී ලංකාව මතක සිටින ජයක් සමඟින් අවසන් තරගයට

2691
Sri Lanka v Bangladesh

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන සංචාරක කණ්ඩායම කුමක් වේ දැ යි බලා සිටින්නන්ට වේලාසනින්ම ගෙදර යෑමට පමණක් නොව අවසන් මහා තරගයේ දී පරිස්සම් වී සිටින්නට යැයි කියනා අවවාදය ද ලබා දෙමින් අද (25) බංග්ලාදේශයේ මිර්පූර් නගරයේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

[rev_slider LOLC]

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේම තම ගෞරවය සේ ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරුවාගේ ද ගෞරවය රැක ගන්නේ කෙසේ ද යන්න විමසිල්ලෙනි. තරගාවලියේ අපරාජිත බංග්ලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයට පිවිසෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පමණක් ජයග්‍රහණයක් අතැතිව ය. අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිවිසීමට නම් මේ තරගයේ දී මතක හිටින ජයග්‍රහණයක් ලැබිය යුතුම විය.

බංග්ලාදේශයට පැරදුනත් ලංකාව ෆයිනල් එන්නේ මෙහෙමයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ..

එකී අභියෝගත් සමඟින් කාසියේ වාසිය උරගා බැලීමට පිටිය මැදට පිවිසි ශ්‍රී ලංකා නායකයාට සිදු වූයේ එහි අවාසිය කරපින්නා ගැනීමට ය.

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කර ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ මිර්පූර් ක්‍රීඩාංගණයට පිවිසෙන්නට ඇත්තේ මීට පෙර පැවති තරගයේ දී මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලැජ්ජාවට පත් කරන්නට විය යුතුය. නමුත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාර 24ක් පමණි. බංග්ලාදේශ ඉනිම කියැවුණේ සියලුම දෙනා දැවී ලකුණු 82ක් ලෙසිනි.

පළමු පන්දුවාරයේ සිටම තරගය සියතට ගත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවෝ සලිත කරමින් හිස් එසවීමට නොදීම නැවත ක්‍රීඩාගාරයට යවා එහිම ගාල් කර තැබුවේ කාලයකට පසු තමන්ගේ තරම පෙන්වමිනි. එහි දී සුරංග ලක්මාල් කඩුලු 3ක් ලබා ගත් අතර දුෂ්මන්ත චමීර සහ තිසර පෙරේරා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය. අවසන් කඩුලු දෙකේ හිමිකාරීත්වය දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් සතු විය.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ය. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් ද සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

ඉනිමේ හොඳම සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට මුෂ්ෆිකර් රහීම් සමඟින් සබීර් රාහ්මන් (10) රැස් කළ ලකුණු 23යි. අනෙකුත් සෑම ක්‍රීඩකයෙක්ම ලකුණු 10කට අඩුවෙන් තැබීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි.

බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 82ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 83ක් රැස් කළේ තවත් පන්දු වාර 38ක්ම ඉතිරිව තිබිය දී ය.

“හූ හූ!” “ඉන්දියාව හූ හූ!”

“ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම” ශ්‍රී ලාංකික අපගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම නම් නොවේ…

ඉතා පහසු ඉලක්කයක් වූ මේ වෙනුවෙන් පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග ය. ඔවුන් දෙදෙනාගේ දඩයක්කාර ඉනිම නිමා වූයේ 12 වැනි පන්දු වාරයේ දී ඉලක්කය සපුරා ගනිමිනි. මෙහි දී උපුල් තරංග පන්දු 37ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 39ක් රැස් කර ගත් අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 35ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේ ය.

මෙම ඉනිම මන්දගාමී කිරීමට බංග්ලාදේශ නායක මෂ්රාෆ් මොර්ටාසා පන්දු යවන්නෝ පස් දෙනෙක්ම යොදා ගත්ත ද එය නිෂ්ඵල වෑයමක්ම විය.

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 27දා මිර්පුර් ක්‍රීඩාංගණයේ දී ම මෙම කණ්ඩායම දෙක අතරම පැවැත්වීමට නියමිත ය.

බංග්ලාදේශය; සියලුම දෙනා දැවි 82 (24.0) මුෂ්ෆිකර් රහිම් 26, සබීර් රාහ්මන් 10, සුරංග ලක්මාල් 3/21, දුෂමන්ත චමීර 2/06, තිසර පෙරේරා 2/27, ලක්ෂාන් සඳකැන් 2/24

ශ්‍රී ලංකාව; කිසිවෙක් නොදැවී 83 (11.5) ධනුෂ්ක ගුණතිලක නොදැවී 35, උපුල් තරංග නොදැවී 39

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<