කුසල් මෙන්ඩිස් නැවතත් ද්විත්ව ශතකය අහිමි කර ගනී

514

තීරණාත්මක කඩඉමකට පිවිසෙද්දී වඩාත් විශ්වාසයෙන් යුතුව පිත්ත හැසිරවිය යුතු වූවද එකී කඩඉම ම පීඩනයක් කර ගත් කුසල් මෙන්ඩිස් ඉතා අවාසනාවන්ත ලෙසින් දෙවැනි වරටත් අද (02) තම ටෙස්ට් ද්විත්ව ශතකය අහිමි කර ගත්තේ සිය 23 වැනි උපන් දිනය ජයටම සමරන්නට තිබූ අවස්ථාව ද අහිමි කර ගනිමිනි.  

[rev_slider LOLC]

චිතගොන් පිටියේ සංචාරක කණ්ඩායම් ක්‍රීඩා විවේකාගාර වෙත බිමට නැඹුරුකරගත් හිසින් යුතුව කුසල්ට පිය නගන්නට සිදු වූයේ ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට එල්ල කළ නොහික්මුණ පහරක් හේතුවෙන් ඉහළ නැගි පන්දුව ඉතා ලෙහෙසියෙන්ම මුශ්ෆිකර් රහීම් විසින් රැක ගැනීම නිසා ය. ඔහුගේ ඉනිම ලකුණු 196ක්ව තිබිය දී නිමා වූයේ තම ටෙස්ට් ක්‍රිකට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් වාර්තා පොත්වල සටහන් වෙද්දීය. පන්දු 327කින් සමන්විත වූ මෙම ඉනිමේ අලංකාර හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් ද විය.

කුසල්ගේ මීට පෙර සටහන්ව තිබූ හොඳම ඉනිම වූයේ පසුගිය වසරේ බංග්ලාදේශයටම එරෙහිව ගාල්ලේ දී ලබාගත් ලකුණු 194යි. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි පිතිකරුවා ලෙසින් කුසල් දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 415ක්ව තිබුණි. ඒ වෙද්දී කුසල් රොෂේන් සිල්වා සමඟ එක්වෙමින් තුන් වැනි කඩුල්ලට ලකුණු 107ක සබඳතාවක් ගොඩනගා තිබුණි.

තෙවැනි දිනටත් ක්‍රියාත්මක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංග්ලාදේශය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 513ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව දිනය අවසාන වන විට කඩුලු 3ක් දැවී ලකුණු 504ක් ලබා සිටිමින් සත්කාරක ක්‍රීඩකයන් පළමු ඉනිමේ ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා තවත් ලකුණු 9ක් පිටුපසින් සිටිනුයේ තවත් කඩුලු 7ක් ඇතැතිවය.

ධනංජය සහ කුසල් ගෞරවනීය ඉනිමක් දියත් කරති

දෙරට අතර පැවැත්වෙන 19 වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී තමන්ගේ ටෙස්ට් තරග දිවියේ සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට තිබූ….

බංග්ලාදේශ පන්දු යවන ඉනිමේ 81 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වූයේ දෙවැනි නව පන්දුවෙනි. එම පන්දුවෙන් යැවුණ දෙවැනි පන්දුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 300 වාර්තා කිරිමට සමත් විය. එහෙත් ඊට පසු යැවුණ පන්දුවාරයේ දී එතෙක් හිසරදයක්ව පැවති දෙවැනි කඩුල්ලේ සබඳතාව නතර කර දැමීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

මුශ්ෆිකර් රහමන්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ලින්ඩන් ඩාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ධනංජය ද සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 308ක් විය. ඒ අනුව දෙවැනි කඩුල්ලේ සබඳතාව ද එම ලකුණු සංඛ්‍යාවම ගත්තේ ය. ධනංජය පන්දු229කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 173ක් ලබා ගත්තේ තම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වාර්තා කරමිනි. ඔහු මීට පෙර 2016 වසරේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී පිටියේ දී ලබා සිටි ලකුණු 129 ඔහුගේ හොඳම ඉනිම සේ සටහන්ව තිබුණි.

තම දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වන රොෂේන් සිල්වා අද තම ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වූයේ තම දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ද වාර්තා කරමිනි. දිනය අවසන් වන ඔහු නොදැවී ලකුණු 87ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට පන්දු 173ක් වැය වී තිබූ අතර හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඊට එක්කර තිබුණි.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් අනෙක් අන්තයෙන් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටින්නේ පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිමිනි.

බංග්ලාදේශ නායකයා ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට පන්දු යවන්නන් 7 දෙනෙක්ම යොදා ගත්ත ද ඉන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට සමත් වූයේ තිදෙනෙක් පමණි. ඒ මස්ටෆයිසුර් රහමාන්, මෙහෙදි හසන් සහ ටයිජුල් ඉස්ලාම් ය. ඔවුන් තිදෙනා අතර කඩුල්ල බැගින් බෙදී ගොස් තිබුණි. මේ අතුරින් නායක මහමුදුල්ලා ටයිජුල් කෙරෙහි වැඩි විශ්වාසය තබමින් වැඩි වශයෙන්ම උපයෝගී කරගත්ත ද දිනය නිමා වන විට ඔහුගේ පන්දු යැවීම ලකුණු සටහන් පොතේ සටහන් වූයේ 51-13-144-1ක් ලෙසිනි.

බංග්ලාදේශ ක්‍රීඩක ඉම්රුල් කයිස් ද අද තම 31 වැනි උපන් දිනය සමරමින් ක්‍රීඩා පිටියට තම ක්‍රීඩකයන්ගේ සුබ පැතුම් මැද පිටියට පිවිසුණි.

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176,  මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 504 (138.0) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා නොදැවී 87, දිනේෂ් චන්දිමාල් නොදැවී 27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<