ජයග්‍රහණය සාමකාමීව සමරන්න; මේ වසන්තය නොවේ

742

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි”

[rev_slider LOLC]

චිංගිස් අයිත්මාතව් නම් සුප්‍රකට ලේඛකයා විසින් රචනා කරනු ලදුව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතයනමින් සිංහලට අනුවාදනය කරනු ලැබූ ග්‍රන්ථයේ එන මේ පද පෙළ ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ උදාන වාක්‍ය බවට පත්ව තිබුණේ බොහෝ කලක සිටයි. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් රචනා කළ ලෝක ප්‍රකට ලිට්ල් හවුස්කතා මාලාවේ ද ලෝන්ග් වින්ටර්ග්‍රන්ථයේ ඉන්ගල්ස් පවුල මුහුණ දුන් මාස 7ක දිගු ශීත කාලයටත් වඩා දීර්ඝ, පරාජයේ ශීත සෘතුවක් ගත කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත වසන්තය උදා වීමේ පෙර ලකුණු පහළ වී තිබේ. දැන් එළඹ ඇත්තේ බංග්ලාදේශයේ මීර්පූර් වෙත පතිත වූ පළමු හිරු කිරණින් උණුසුම් ව, ජයග්‍රහණයේ මාවත අවහිර කරමින් හමා ගිය කුණාටුව ඉතිරි කර ගිය හිම දිය කර හැරීමේ කාලයයි.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගන්නා අවස්ථාවේ බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ මැජික් ශිල්පියෙකු සිය හිස් වැසුම තුලින් හාවෙකු එලියට ඇද පෙන්වන්නා සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයක් මවන්නට ඔහු සමත් වෙනු ඇති බවයි. නමුත් හතුරුසිංහගේ පළමු තරගයේ දීත්, සිදු වූයේ කුමක් ද? පිට පිට එක්දින තරග දෙකක දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වී තරගාවලි ජයග්‍රහණයක් ද ඔවුන් වෙත පූජා කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා තෙවන වරටත් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පසු බැසීමයි.

පරාජය වූයේ ලකුණු 12කින් වුවද පරාජය, පරාජයක්ම වේ. ඊළඟට පැමිණියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම විශේෂයෙන්ම චන්දික හතුරුසිංහ නම්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුගේ අභිමානය පිළිබඳ ගැටලුවකි. පුහුණුකරුවෙකු නොමැතිව හිටපු පුහුණුකරුගේ නව කණ්ඩායම සමඟ සටනට එක්වූ බංගලියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෙංගාලි ව්‍යාඝ්‍රයන් මෙන් ප්‍රතිවාදීන් වෙත කඩා පනින්නට සූදානම් වී සිටින ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පරාජය වූවා පමණක් නොව බංග්ලාදේශ එක්දින තරග ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය සනිටුහන් කරන්නට ද ඔවුන්ට ඉඩ සලසා දුනි.

ඔබ එම තරගය රූපවාහිනියෙන් නැරඹුවා නම්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු කිහිපය බිඳ වැටෙන අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හුසේන්ගේ මුහුණේ රැඳි අවඥාව සහ අභිමානය මුසු වූ සිනහව තවමත් මතකයේ රැඳී තිබෙනු නොඅනුමාන ය. මෙරට සමාජ මාධ්‍ය විශාරදයන් හට  තවත් මාතෘකාවක් හිමි විය. හතුරුසිංහ දුවන කෝච්චියකට බෙල්ල තැබුවා යැයි කීමට තරම් ඇතැමුන් ඉක්මන් විය. නමුත් හතුරුසිංහ සතුව තිබුණේ ද සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කියවෙන වැකියක් හා සමානම ආකල්පයකි. පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල නැහැ.

කෙසේ වෙතත් බොහෝ දෙනෙකුට නොපෙනුණු වෙනසක් කණ්ඩායම තුල සිදු වෙමින් පැවති බවට ඉඟි ඕනා තරම් දක්නට තිබුණි. ඒ අතරින් කැපී පෙනෙන වෙනසක් ලෙස තිසර පෙරේරාගේ තරග රටාව දැක්විය හැක. වරින් වර තම හැකියාව පෙන්වමින් කණ්ඩායම තුල රැඳෙන්නට පමණක් ප්‍රමාණවත් දස්කම් වරින් වර පෙන්වීම හේතුවෙන් යන්තමින් කණ්ඩායමේ ස්ථානය රැකගෙන සිටි ඔහුගේ තරග රටාවේ මෙන්ම ශරීරයේ ද වෙනස්කම්, ශ්‍රී ලංකාව පරාජය වූ තරග දෙකේ සිටම දර්ශනය විය. තම හැකියාව කෙතරම් දැයි ලොවටම පෙන්වා තිබුනත්, එම හැකියාව ලකුණු බවට පරිවර්තනය කර ගත නොහැකිව කණ්ඩායමේ තැන අහිමි කරගෙන සිටියත්, හතුරුසිංහගේ ආගමනයත් සමඟ නැවත කැඳවුම් ලැබූ කුසල් මෙන්ඩිස් ද, තරග රටාවේ ධනාත්මක වෙනස්කමක් පෙන්වූ තවත් ක්‍රීඩකයෙකි.

2017 වසර තුළ සහභාගී වූ එක්දින තරගාවලි 7ම ජයග්‍රහණයකින් තොරව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම, 2018 වසරේ පළමු එක්දින තරගාවලියෙන් ද ඉවතට විසිවීමේ අවදානම සමඟින් තුන් කොන් එක්දින තරගාවලියේ සිය තෙවන තරගයට පිවිසුණේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. 2012 වසරෙන් පසු පළමු වරට තරගයක් කණපිට හරවන ආකාරයේ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාගේම කඩුලුවලට වග කිව්වේ ඔවුන්ව ලකුණු 198කට සීමා කිරීමේ පුරෝගාමියා බවට පත් වෙමින්. එතනින් නොනැවතුණු තිසර, කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් තරමක අස්ථාවර බවක් පෙන්වමින් ලකුණු 145කට කඩුලු 5ක් දැවී තිබූ මොහොතේ පිත්තෙන් ද තම වගකීම ඉටු කරමින් කලකට පසු තමන් තවමත් සම්පූර්ණ තරග දිනවන්නකු බව තහවුරු කරන්නට සමත් විය.

කලබල නොවූ දොස්තර මහතා තමන්ගේ ප්‍රතිකාර දිගටම ක්‍රියාත්මක කරන බව බොහෝ දෙනා තේරුම් ගත්තේ බංග්ලාදේශ කණ්ඩායම අහසින් පොළොවට ඇද දැමූ මෙහෙයුමත් සමඟයි. තුන්කොන් එක්දින තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව පරාජය වුවහොත් දල ලකුණු වේගය මත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට ඇති ඉඩ කඩ පිළිබඳ සොයමින් බොහෝ දෙනෙක් කැල්කියුලේටර් යන්ත්‍ර ඔබද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණේ වෙනත් අදහසකි.

ජනවාරි 25 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 2ක් ආරම්භ විය. එකක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගයයි. අනෙක නවසීලන්තය සහ පකිස්ථානය අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගයයි. නමුත් පන්දුවාර 20 තරගය අවසන් වී එක්දින තරගය නැරඹීමට රූපවාහිනී නාලිකාව මාරු කළ ක්‍රීඩාලෝලීන් හට නරඹන්නට ඉතිරිව තිබුණේ එක්දින තරගයේ විශේෂ අවස්ථා රැගත් වැඩසටහනක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 82කට සීමා කිරීමෙන් පසු පන්දුවාර 12ක් අවසන් වීමටත් මත්තෙන් ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් වී තිබුණි.

හිස කෙළින් තබාගෙන අවසන් මහා තරගයට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායමට කාසියේ වාසිය ද කැරකුණේ දවසේ වාසනාව පිළිබඳ ඉඟියක් ද සමඟයි. කෙසේ වෙතත් කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු දියත් කළ පිතිකරණය ගැන බොහෝ දෙනා තුල පැහැදීමක් තිබුණේ නැත. උපුල් තරංග ලකුණු 56ක් සඳහා පන්දු 99ක් වැය කරද්දී මෙරට ක්‍රීඩාලෝලීන් කී දෙනෙක් ඔහුගේ පිතිකරණ රටාවට බැන වැදුණා දැයි ගණන් කළ නොහැක. නමුත් අවසානයේ ලකුණු 221ක ඉලක්කය ජයග්‍රහණය සඳහා ඉහටත් උඩින් ප්‍රමාණවත් විය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත් වූ තිසර පෙරේරා හට එදින වාසනාවෙන් තොර දිනයක් බවට පත් වෙද්දී, තරග 4ක් තුළ ක්‍රීඩාගාරය ඇතුලට වී සිටිමින් තරගයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අත්දැකීම් ලබාගත් ලහිරු මධුශංක අත ඔසවා තමන්ට යොමු වූ අභියෝගය භාර ගන්නට සමත් විය. අවශ්‍ය මොහොතේ තුරුම්පු ඇදීමට හතුරුසිංහ සතු හැකියාව මනාව පැහැදිලි කරන අවස්ථාවක් ලෙස අවසන් තරගය සඳහා ඔහුව යොදා ගැනීම පෙන්වා දිය හැක.

මෙම තරගාවලිය තුළ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත් වුනේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමත් සමඟ නායකත්වය පැවරුණු දිනේෂ් චන්දිමාල්ගේ ක්‍රියා කලාපයයි. කණ්ඩායම වෙතින් තරගය ගිලිහී යාමේ පෙර ලකුණක් දුටු සැණින් ක්‍රීඩකයන් කැඳවා නැවත ඔවුන්ට තම රාජකාරි පිළිබඳ මතක් කර දෙන්නට චන්දිමාල් කටයුතු කළ ආකාරය සැබවින්ම ප්‍රශංසනීය ය.

දැන් මෙරට ක්‍රීඩාලෝලීන්ට එළඹ තිබෙන්නේ කණ්ඩායම පැසසීමේ කාලයකි. පසුගිය වසර දෙකක පමණ කාලයක් පුරා මුහුණ දුන් අමිහිරි පරාජයන් ගොන්නම තුන් කොන් එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් වැසී යමින් තිබේ. ඇසූ ඇසූ තැන නැගෙන්නේ මුව නොසෑහෙන තරමේ අගය කිරීම් පමණකි. හතුරුසිංහ දැන් මෙරටට වීරයෙකි, වරෙක බින්දුමාල් වූ දිනේෂ් චන්දිමාල් ද වීරයෙකි, ලකුණු 56ක් ගසන්නට පන්දු 99ක් වැය කළා යැයි චෝදනා ලැබූ උපුල් තරංග ද වීරයෙකි, කොටින්ම කියතොත් හදිසියේ ලැබුණු නායකත්වයක් හේතුවෙන් මීට මාසයකට පමණ පෙර සමාජයෙන් කුණු බැනුම් ඇසූ තිසර පෙරේරා ද දැන් වීරයෙකි. නමුත් මේ ජයග්‍රහණය සාමකාමීව සැමරිය යුතු බව නම් කිව මනාය.

මේ වසන්තය නොව, සීත සෘතුව අවසන් බවට ඉඟි කෙරෙන පළමු හිරු කිරණ පමණක් බව අප තේරුම් ගත යුතුය. දරුණු හිම කුණාටු සමයක් එක වරම අවසන් වෙතැයි විශ්වාස කිරීම එතරම් නුවණට හුරු කාර්යයක් නොවේ. එබැවින් ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි වසන්තය උදාවට පෙර තවත් සුළි කුණාටු කිහිපයකට මුහුණ දීමේ සූදානමින් සිටීම ඇඟට ගුණ බව මතක තබා ගන්න. හතුරුසිංහ භාර ගෙන ඇත්තේ පරාජය  සමඟින් මිතුරු වන්නට සිදු වූ කණ්ඩායමකි. එබැවින් ඔවුන්ව ජයග්‍රහණ සමඟින් මිතුරු කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු කාර්යයකි.

සමාජ ජාල මාධ්‍ය තුළින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සොයා ගැනීමක් දක්නට ලැබුණි. එනම් කණ්ඩායමේ සියල්ලන් එක්වී තරගයකින් පසුව හෙළ ජාතික අභිමානේගීතය ගයනා කරන ආකාරයයි. ඔවුන් එය කණ්ඩායමේ නිල ගීතය බවට පත් කරගෙන දිනපතා එය ගයනා කිරීමට තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ලොව අති සාර්ථකම ක්‍රිකට් කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාවට ද මෙවන් ගීතයක් තිබේ. සෑම තරගයකින් පසුවම ක්‍රීඩක විවේකාගාරය තුළ ඔවුන් ගයනා කරන අන්ඩර් ද සදර්න් ක්‍රොස්නම් ගීත ඛණ්ඩය මෙහෙයවීමේ වගකීම ද ඔවුන් නායකත්වය මෙන් ක්‍රීඩකයකුට භාර දෙනු ලබයි. එමගින් කණ්ඩායම් හැඟීම මෙන්ම ජාත්‍යාලය ද ඉස්මතු කිරීම මගින් ක්‍රීඩකයන් තුළ ඇති දක්ෂතා උපරිමයෙන් ක්‍රියාත්මක වීමට මානසික ශක්තියක් ද සපයන උත්ප්‍රේරකයකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ගීතය ලෙස තෝරාගෙන ඇති හෙළ ජාතික අභිමානේද කණ්ඩායමට මානසික ශක්තියක් එක් කරනු ඇති බව විශ්වාස කළ හැක.

මෙවන් ධනාත්මක වටිනාකම් කණ්ඩායමට එක් කර ගනිමින් තමන්ට පෙර කණ්ඩායම සහ රට ගැන හිතන්නට හැකි ක්‍රීඩකයන් පිරිසක් තමන් වටා රොද බැඳ තබා ගන්නට හතුරුසිංහ සමත් වුවහොත්, ‘2019 ලෝක කුසලානනම් වසන්තය ශ්‍රී ලංකාවට උදා කර ගන්නට නොහැකි වනු ඇතැයි කාට නම් කිව හැකි ද? නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ, රන් බිජු සොයා කිකිළිය මරා දමනවාට වඩා අවශ්‍ය තරම් බිජුවට එකතු වන තුරු බලා සිටීම වඩාත් ප්‍රතිඵලදායක බවයි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<