ධනංජය සහ කුසල් ගෞරවනීය ඉනිමක් දියත් කරති

1590

දෙරට අතර පැවැත්වෙන 19 වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී තමන්ගේ ටෙස්ට් තරග දිවියේ සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට තිබූ හොඳම අවස්ථාවන් මොමිනුල් හක් සහ සුරංග ලක්මාල් විසින් අහිමි කර ගනිද්දී, සටන්කාමී ඉනිමක නිරත වෙමින් ධනංජය ද සිල්වා තම ටෙස්ට් තරග දිවියේ සිව්වැනි ශතකය රැස් කිරීමට අද (01) සමත් විය.

[rev_slider LOLC]

 

චිතගොන් පිටියේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 513ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනය නිමා වන විට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගත්හ.

බංග්ලාදේශ ඉනිම අවසානයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ වෙන්නේ අවාසනාවත් වාසනාවත් එක ළඟ දෝලනය කර ගනිමිනි. ආරම්භක පළපුරුදු වමත් පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු නොලබාම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට දකුණතින් පිට දඟපන්දු යවන මෙහෙදි හසන්, ඉම්රුල් කයිස්ගේ සහයෝගය ද සමඟින් සැලැස්වීම අවාසනාව විය. වාසනාව වූයේ පිටියේ එක් අන්තයක සිටි කුසල් මෙන්ඩිස්ට එක්වූ ධනංජය ද සිල්වා දිනය අවසානය දක්වාම තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය තත්ත්වයට ගෙන ඒමය.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි දිනයේ නැංගුරම ලූ තැනම විය. ඒ වෙද්දී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83ක් ද, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 104ක් ද රැස් කරගෙන සිටිය හ. කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ඉතාම ආරක්ෂාකාරීව රැක ගන්නා අතර ධනංජය ප්‍රවේගවත් ඉනිමක නිරත වෙමින් ලකුණු අතරට යෑම කැපී පෙණුනි.

මොමිනුල් සහ මුශ්ෆිකර්ගෙන් වාර්තා ගත ඉනිමක්

වමත් පිතිකරු මොමිනුල් හක් සහ දකුණත් පිතිකරු මුශ්ෆිකර් රහීම් එක්ව තෙවැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු සබඳතාවක් …..

පන්දු 122ක දී ශතකය වාර්තා කළ ධනංජයගේ නොදැවුණ ඉනිම පන්දු 127කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 15ක් එක්කර තිබුණි. තම ටෙස්ට් තරග දිවියේ 5 වැනි අර්ධ ශතකය පන්දු 91දී රැස් කළ මෙන්ඩිස් දිනය අවසාන වන විට පන්දු 152කට මුහුණ දී තිබුණි. ඔහු ඉදිරියේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් ද ලියැවී තිබුණි.

තරගයේ අවසන් පැයේ දී කුසල් මෙන්ඩිස් වෙනුවෙන් ලබා දුන්/නොදුන් තීරණ අවස්ථා 3ක්ම නැවත පරීක්ෂණයට ලක් කෙරුණ අතර ඒ සැම අවස්ථාවක දී ම මෙන්ඩිස් නිවැරදි වීම ශ්‍රී ලංකා ඉනිමේ තවත් වාසියක් විය.

කඩුලු 4ක් දැවී ලකුණු 374ක්ව පවතිද්දී දිනය ආරම්භ කළ බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් මොමිනුල් හක් දැවී ගියේ අද දිනයේ ඔහුගේ පෞද්ගලික ලකුණු ගිණුමට එක් ලකුණක් පමණක් එකතු වෙද්දී ය. රංගන හේරත්ගේ කඩුලු ලැයිස්තුවට එක් කරමින් මොමිනුල් දැවී ගියේ ඔහුගේ පෞද්ගලික හොඳම ඉනිමට ලකුණු 5ක් මෙපිටින් සිටිද්දී ය.

තම හොඳම සඟයා කඩුල්ල අතහැර ගිය පසු නායක මහමුදුල්ලා තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සෙමෙන් එහෙත් වඩාත් ආරක්ෂාකාරීව පන්දුවට පහර දීමේ ක්‍රමවේදයක් අනුගමනය කළේය. එහෙත් විවෘතව තැබුණ අනෙක් පසින් දිනයේ දිවා විවේකයට තරගය නතර කරන විට තවත් කඩුලු 2ක් ලෙසින් කඩුලු 7ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වෙද්දී ලකුණු පුවරුව තිබුණේ 467ක් ලෙසිනි. දැවී ගිය ක්‍රීඩකයන් වූයේ මොස්දක් හුසේන් (08) සහ මෙහෙදි හසන් (20) ය. දැවී ගිය කඩුලු තුනෙන් දෙකක හිමිකාරීත්වය රංගන හේරත් සතු වූ අතර අනෙක් කඩුල්ල දුවද්දී දවා ගැනීමට ලහිරු කුමාර සහ නිරෝෂණ දික්වැල්ල සමත් වූහ.

දිවා විවේකයෙන් පසුව තම ටෙස්ට් තරග දිවියේ 15 වැනි ශතකය පන්දු 92කින් වාර්තා කිරීමට නායක මහමුදුල්ලා සමත් විය. 8 වැනි කඩුල්ලට මහමුදුල්ලා සමඟ කෝඩුකාර සුන්සාමුල්ඉස්ලාම් එක්කළ ලකුණු ප්‍රමාණය 58කි. සුන්සාමුල්ගේ ඉනිම පන්දු 56ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් විය.

ජයග්‍රහණයේ උණුසුම මැද ඇරඹෙන ටෙස්ට් තරගාවලියට පෙර

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (31) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය චිතගොන් හිදී පැවැත්වෙනු ඇත…….

අනතුරුව නැවත වරක් ආරක්ෂාකාරී ව පිත්ත හැසිර වූ මහමුදුල්ලා බංග්ලාදේශ ඉනිම ලකුණු 513 දී නිමා වෙද්දී නොදැවී ලකුණු 83ක් ලබා සිටියේය. පන්දු 134ක් පුරා විසිරුණ ඔහුගේ ඉනිමේ  හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ද විය. මහමුදුල්ලා අද බංග්ලදේශ ටෙස්ට් ඉතිහාසයේ ලකුණු 2000ක් රැස්කළ පිතිකරු සමාජයේ සාමාජිකත්වය ලබා ගැනීමට ද සමත් විය. කෙසේ වෙතත් ඔහු අවසන් කඩුල්ලේ දී මස්ටෆයිසුර් රහමන් (08) සමඟ එක්වෙමින් ලකුණු 35ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම ද මෙම ඉනිමේ කැපී පෙණුනි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 68කට කඩුලු 3ක් දවා ගත්තේ තම ටෙස්ට් තරග දිවියේ කඩුලු ශතකයට  එක් කඩුල්ලක් මෙපිටින් නතර වෙමිනි.  පළමු දිනය කිසිදු කඩුල්ලක් ලබා නොගනිමින් නිමා කළ රංගන හේරත්ගේ පන්දු යැවීම අද දිනයේ දී කඩුලු 3ක් තමා නමින් ලියා ගැනීමෙන් නිමා විය. ඒ ලකුණු 150ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ලක්ෂාන් සඳකැන් ලබා ගත් කඩුලු ප්‍රමාණය 2කි.

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5): තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176,  මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 187 (48.0): කුසල් මෙන්ඩිස් නොදැවී 83, ධනංජය ද සිල්වා නොදැවි 104

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<