මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම ද්විත්ව ශතකය ආසන්නයෙන් නතර වෙයි

144

ඊයේ දිනය සඳහා තරගය කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) තම ප්‍රථම ඉනිම ලකුණු 494ක් දක්වා වැඩි වර්ධනය කර ගැනීමට සමත් විය. උදෑසන සැසියේදී පන්දුවේ මද දෝලනයට සාර්ථක ප්‍රතිරෝධයක් දැක්වූ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල පස්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 110ක් දක්වා ඉහළ දැමීම ශ්‍රී ලංකාවට අමතර ආශිර්වාදයක් විය. ඒ වනවිටත් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඈත්වී තිබූ නිසා ඔවුන් තුලින් දැකගත හැකි වූයේ ඉතාමත් නිදහස් පිතිකරණ රටාවකි.

ප්‍රථම දිනයේදීම මෙන්ඩිස්ගෙන් විශිෂ්ට ශතකයක්

පසුගියදා නිමාවුනු දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දී ඉනිම 6කදීම ලකුණු 300 සීමාවට ලඟා වීමට අසමත් වුනු ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) බංග්ලාදේශය…

දිනය ආරම්භයේදී නොදැවී ලකුණු 166ක් ලබාගෙන අති විශිෂ්ට ඉනිමක් ගොඩ නගමින් සිටි යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද පියවරෙන් පියවර තම කුළුදුල් ද්විත්ව ශතකය කරා ගමන් කරන්නට විය. බංග්ලාදේශය සතු කිසිදු පන්දු යවන්නෙකුට ඔහුට සැලකිය යුතු තරමේ තර්ජනයක් එල්ල කිරීමට හැකි නොවීය. පන්දුවාර 103ක් ගතවෙද්දී ලකුණු 194ක් ලබාගෙන සිටි ඔහු තවත් මොහොතකින් ලබා ගන්නා ද්විත්ව ශතකය බලාපොරොත්තුවෙන් සමස්ථ ප්‍රේක්ෂකාගාරයම නොයිවසිල්ලෙන් පසුවිය. නමුත් මෙහෙදි හසන් ක්‍රියාත්මක කල ඊළඟ පන්දුවාරයේදී හයේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය කරා ලඟා වීමට උත්සාහ දැරූ කුසල්ට සිදුවූයේ අවාසනාවන්ත ලෙස නැවත ක්‍රීඩාගාරයට පියමන් කිරීමටයි. ඉදිරියට පැන කුසල් එල්ල කල වේගවත් පහර ලෝන්-ඔන් කලාපයේ සිට දැඩි වෙහෙසක් දරා තමීම් ඉක්බාල් විසින් රැක ගැනීමත් සමග කුසල්ගේ විශිෂ්ට ඉනිම නිමාවට පත්විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා අද තම ටෙස්ට් දිවියේ වැනි අර්ධ ශතකය ලෙස හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51ක් රැස් කළේය. ටෙස්ට් ඉනිමකට වඩා එක්දින ඉනිමකට ආසන්න ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල නිරෝෂන් දික්වැල්ල අද හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 75ක් ලබා ගත්තේය. තම වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසින් ඔහු ක්‍රීඩා කල වේගවත් ඉනිමට වැයවූයේ පන්දු 76ක් පමණි. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූයේ ලකුණු 133ට කඩුලු 4ක් බිඳ හෙලූ මෙහෙදි හසන්ය.

ලකුණු 500කට ආසන්න දැවැන්ත ඉලක්කයක් හිමිවුනු බංග්ලාදේශ පිතිකරුවන්ට මූලාරම්භයේ සිටම සැලකිය යුතු පීඩනයක් එල්ලවී තිබුනත් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ නොපසුබට උත්සාහය නිසා බංග්ලාදේශයට යම් තරමක සැනසිලිදායක තත්වයක් ඇතිවිය. ඒ ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවයක් පැවැත්වීමට හැකි වූ බැවිනි. තමීම් ඉක්බාල් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ලකුණු 57ක් රැස් කර ගනිද්දී අනෙක් අන්තයේ සිට පන්දුවට පහර දුන් සෞම්‍ය සර්කාර් ලකුණු 66ක් ලබා ගත්තේය. බංග්ලාදේශයේ සාර්ථකත්වය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පසුබා සිටි අවස්ථාවේදී වමත් පිතිකරු තමීම් ඉක්බාල්ව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි මොමිනුල් හක් දිනය නිමාවීමට පන්දුවාර 6ක් පමණ ඉතිරිව තිබියදී දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා ඔවුන්ට දිනය නිමා කිරීමට හැකි වූයේ ලකුණු 133ට කඩුලු 2ක් වශයෙනි. මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන සෞම්‍ය සර්කාර් ලකුණු 66ක් රැස් කරගෙන සිටින අතර අනෙක් අන්තයේ නොදැවී ක්‍රීඩා කරන බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් එක් ලකුණක් ලබාගෙන සිටියි. ගාලු ජාත්‍යන්තර තණතීරුව සාමාන්‍යයෙන් තෙවැනි දිනය දක්වාම පිතිකරුවන්ට සහය දක්වන බැවින් තරගයේ පාලනය තමන් සතුවම තබා ගැනීමට නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හෙට දිනයේදී දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 133 (පන්දුවාර 46): සෞම්‍ය සර්කාර් 66*, තමීම් ඉක්බාල් 57, මොමිනුල් හක් 7, මුෂ්ෆිකර් රහීම් 1*, දිල්රුවන් පෙරේරා 1/32.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට