ශ්‍රී ලංකාව ඉදිරියට; පාකිස්තානය පස්සට

285
Sri Lanka Cricket

ඊයේ (10) අවසන් වූ ශ්‍රී ලංකා – පාකිස්තානු ටෙස්ට් තරගාවලියට පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 6 වන ස්ථානය දක්වා උසස් වීමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ගමන් කිරීමට සමත් වී ඇත.

ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!

ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමට අද (10) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එම දැවැන්ත ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 90 සිට 94 දක්වා වර්ධනය විය. නමුත් පාකිස්තානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 93 සිට 88 දක්වා පසු බැස ඇත.   

ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 97ක් ලබා සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 3ක් ඉදිරියෙන් පසුවෙමිනි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 75ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම සමඟින් තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියකට සහභාගී වන අතර එය නොවැම්බර් මස 16 වැනිදා කල්කටා හිදී ආරම්භ වනු ඇත.

පාකිස්තානු කණ්ඩායම රෝස පන්දුව යොදාගෙන ක්‍රීඩා කරනු ලබන මීළඟ තරගය අයර්ලන්ත කණ්ඩායම සමඟින් ඉදිරියේ දී පැවැත්වෙන අතර ඊට අමතරව ඔවුන් එංගලන්තය සමඟින් ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

එසේම පාකිස්තානය සමඟින් පැවැත්වූ ටෙස්ට් තරගාවලියේ වීරයා වූ දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 26 වන ස්ථානයේ සිට 17 වන ස්ථානය දක්වා උසස් වීමක් ලබාගෙන ඇත. ප්‍රසාද ලකුණු 700ක් ද එහි දී ඔහු විසින් ලබාගෙන ඇත. එය ශ්‍රේණිගත කිරිම් අනුව දිමුත් ලබාගත් ඉහළම ස්ථානයයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ  මැදපෙළ පිතිකරු නිරෝෂන් දික්වැල්ල 41වන ස්ථානයේ සිට 39 වන ස්ථානය දක්වා පෙරමුණට පැමිණ ඇත්තේ ඔහුගේ ද හොඳම ශ්‍රේණිගත කිරීම සනිටුහන් කරමිනි.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී ස්ටීව් ස්මිත් (ලකුණු 936), ජෝයි රූට් (ලකුණු 889), කේන් විලියම්සන් (ලකුණු 880) යන තිදෙනා මුල් ස්ථානයන් තුන ජයග්‍රහණය කර ඇත.

දිල්රුවන් පෙරේරා හා සුරංග ලක්මාල් ද ටෙස්ට් පන්දු යවන්නන් වර්ගීකරණයේ ස්ථානයන් 3ක් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා පිළිවෙළින් 23 වන හා 33 වන ස්ථානයන් දිනා ගැනීමට සමත්ව ඇත. නුවන් ප්‍රදීප් ප්‍රසාද ලකුණු 478ක් ලබාගෙන එම ලැයිස්තුවේ 32 වන ස්ථානය දිනාගෙන සිටියි.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයන් තුන ජයග්‍රහණය කිරීමට ජේම්ස් ඇන්ඩර්සන් (ලකුණු 896), රවින්ද්‍ර ජඩේජා (ලකුණු 884) හා කැගිසෝ රබාඩා (ලකුණු 876) සමත් ව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න