ඉරානයේ ආඩබිල් නුවර දී පැවති “දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය” සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා 23න් පහළ වොලිබෝල් ක්‍රීඩකයන්ට අවස්ථාව උදාවීමත් සමඟින් “ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ අක්‍රිය වයස් මට්ටම” තුළ සිටි ක්‍රීඩකයන්ට ක්‍රියාකාරී වීමේ ඉඩ ලැබුණි.

තරගාවලිය මැයි 2 වැනිදා ආරම්භ වීමට ප්‍රථම මාස 3ක පමණ කාලයක් නේවාසික පුහුණුවක යෙදීමට ඔවුන්ට හැකියාව උදා වූ අතර මැයි 07 වැනිදා දක්වා තරගවලට සහභාගී වූ කණ්ඩායම හිමිකර ගත්තේ 10 වැනි ස්ථානයයි.

යොවුන් වොලිබෝල් කණ්ඩායම දැක්වූ දක්ෂතා ප්‍රමාණවත් ද?

පසුගිය දා නිමාව දුටු 11 වැනි ආසියානු 19න් පහළ වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව ද සහභාගී වූ අතර ..

පළමුවරට තරගාවලිය නියෝජනය කිරීම නොසලකා ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථානගත වන්නට සිදුවූයේ ප්‍රබල ජපාන කණ්ඩායමත්, තායිලන්ත කණ්ඩායමත් ඇතුළත් වූ D කාණ්ඩයෙනි. එහි දී ඔවුන්ට අසාධාරණයක් සිදු වූ බව සටහන් කළ හැකි වන්නේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ආසන්නව පහතින් සිටි කසකස්තානය සහ ඕස්ට්‍රේලියාව, වෙනත් කාණ්ඩයකින් තරගාවලියට එක්ව සිටි බැවිනි.

“කාණ්ඩ වලින් අමාරුම කාණ්ඩය තමයි අපට ලැබුණේ. ජපානය තරගාවලියේ 2 වන තැනත්, තායිලන්තය 4 වන තැනත් ලබාගැනීමෙන් ඒක පැහැදිලි වෙනවා. අපි ඒ කණ්ඩායම් දෙකටම හොඳ තරගයක් දීලයි පැරදුනේ.” ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර මහතා ThePapare.com අපට පැවසීය.  

එහෙත් දකුණු ආසියාවේදීත් ශ්‍රී ලංකාව අබිභවා යා නොහැකි වූ පකිස්තානය ඇතුළත් වූ කාණ්ඩයට කණ්ඩායම් දෙකක් පමණක් ඇතුළත්ව තිබීම නිසා, ඔවුන් එක් තරගයක් පරාජය වුවත් දෙවන වටයට සුදුසුකම් ලැබූ අතර තරගාවලියේ 06 වැනි ස්ථානයට පත්විය.

කණ්ඩායම කෙසේ වී ද යත්,

දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒ කණ්ඩායම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරන “A” කණ්ඩායමක් වශයෙන් ද සැලකිය හැකිය. මන්ද යත් ඉන් පෙර ආසියානු මට්ටමේ තරගාවලි පැවති වයස් කාණ්ඩ වන්නේ 18න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩ යි.

කණ්ඩායමක් වශයෙන් මෙවර පළමු වරට උක්ත තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා 23න් පහළ වොලිබෝල් කණ්ඩායම ඉතා දක්ෂ මට්ටමක පසු වූ බව කිවහැකි වන්නේ ඔවුන්ගේ පෙර අත්දැකීම් සහ වත්මන් දක්ෂතා යන දෙකම යහපත් මට්ටමක තිබූ බැවිනි. දකුණු ආසියානු රිදී පදක්කම් ලාභී ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත්, කනිෂ්ඨ ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත්, යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කළ බීච් වොලිබෝල් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් කණ්ඩායමට ඇතුළත් විය.

නායකත්වය හිමිව තිබුණේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ද වන අයේෂ් පෙරේරා හටයි. උපනායකත්වය හෙබවූ ධනුෂ්ක ඩිල්ෂාන් ද අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වූ අතර ඔවුන් දෙදෙනාගේ සගයන් වූ මහේෂ් වන්නිගම, නදීප ලක්ෂාන්, ඉසුරු මධුෂාන්, ෂෙහාන් ලක්ෂිත, හරිත හෂාන්, ශෂික ලක්ෂාන්, නිශාන් මධුෂංක, හර්ෂක සිල්වා, රෙහාන් මධුෂංක, ධනුෂ්ක සංජීව යන සියළු දෙනාම පාහේ කවර හෝ ජාතික කණ්ඩායමක ක්‍රීඩා කොට අත්දැකීම් සහිත වූවන් විය.

පස්දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවක් මඟින් තෝරා ගනු ලැබූ කණ්ඩායම, පුහුණුකරු සහ සහාය පුහුණුකරුවන් දෙදෙනාගේ පූර්ණ එකඟත්වයක් නොමැතිව තෝරා ගැනුණේ දැයි සැක පළවන්නේ තවත් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙවර කණ්ඩායමට ඇතුළත් නොවූ බැවිනි.

“තේරීම් කමිටුව ක්‍රීඩකයන් 30 දෙනෙකුගේ සංචිතය පුහුණු වෙන කිසිම දවසක ඔවුන්ව බලන්න ආවේ නැහැ. හදිසියේම ඇවිත් කණ්ඩායමක් තෝරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.” චන්න ජයසේකර මහතා එසේ කීවේය.

ආසියානු තරගාවලියකට අත්දැකීම් කෙතරම් වැදගත් දැයි හොඳින්ම හඳුනන පුහුණුකරුවන්, මේ පිළිබඳව තේරීම් කමිටුව හා 100%ක් එකඟ වී නැතැයි ThePapare.com අපට වාර්තා විය.

සාමාන්‍යයෙන් අප දන්නා පරිදි පුහුණුකරුවන් සහ නායකයා යන චරිත තේරීම් කමිටුවේ අසුන්ගත විය යුතුය. එහෙත් එවැන්නක් සිදු වූ බවක් අසන්නට නොලැබුණි.

කෙසේ වෙතත් තෝරා ගනු ලැබූ කණ්ඩායමට චන්න ජයසේකර, චමින්ද ජයරත්න සහ ජගත් සංජය යන දක්ෂ පුහුණුකරුවන්ගේ අනුදැනුම හිමි විය. මාස 3ක නේවාසික පුහුණු සැසියකින් පසු කණ්ඩායම  ඉරානය බලා පිටත් විය.

ලිබරෝ ක්‍රීඩක හර්ෂක සිල්වා, නිර්මාංශ ආහාරයට ගන්නෙකු වීම හේතුවෙන් ඔහු ඉරානයේදී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඉන් අසනීප තත්වයට පත්විය. පසුව නදීප ලක්ෂාන් හට ලිබරෝ ස්ථානය ලබා ගන්නට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට සිදුවූයේ උසපන්දු ප්‍රහාරකයෙකුගේ අඩුව සහිතවයි. ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමේ දී අවධානය යොමු කළ යුතු ඉසව් බොහොමයක් ඇති බව මෙයින් පැහැදිලි වේ.

“පුහුණු සංචිතයට ආදේශක ක්‍රීඩකයන් හතර දෙනෙක්ව ඉල්ලුවට ඒක ලැබුණෙත් නැහැ. ඒක අත්‍යාවශ්‍යයි. මොකද, අපේ පන්දු ඔසවන්නාට පුහුණු කාලයේ දී උණ රෝගය වැළඳුනා. ඒ අවස්ථාවේදීවත් අපට ඒ වෙනුවට යොදාගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ.” චන්න මහතා වැඩිදුරටත් කීවේය.

මැයි 02 – ජපානයට එරෙහිව ශ්‍රී ලංකාව

courtesy - iranvolleyball.com
courtesy – iranvolleyball.com

ආසියාවේ 4 වැනි ස්ථානය හිමිකරගෙන සිටි ජපානය, වේගය අතින් ඉහළ මට්ටමක සිටින කණ්ඩායමකි. ජපන් ජාතිකයන් අයත් වන “මොන්ගලොයිඩ් වර්ගයේ මානවයින්” උපතින්ම වේගවත් වන්නේ ඔවුන්ගේ ශරීරවල ගුරුත්ව කේන්ද්‍රය ඌර්ධව කායේ පිහිටා තිබීම හේතුවෙනි. ඊට සාපේක්ෂව ආසියාවේ 8,9 ස්ථානවල ඉහළ පහළ යමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද වේගයෙන් සමන්විත වූවත් උපතින්ම වේගය හිමි මොන්ගලොයිඩ් ක්‍රීඩකයන් හමුවේ ශ්‍රී ලංකාව සෑම විටකම පාහේ පසුබැස ඇත.

ඉරානය මැදපෙරදිග රටක් වූවත් තරගය පැවැත්වුණේ ශීත දේශගුණික තත්වයක් යටතේයි. එහි දී කොළඹ නගරය තුළ පුහුණු වීම් සිදු කළ ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අභියෝගයක් හිමිවුවත්, ජපාන ක්‍රීඩකයන් ඊට පුහුණුව ලබා තිබුණේ වසර දෙකක පමණ කාලයක සිටයි. සුපුරුදු පරිදි උසෙහි මඳකම ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වූ ගැටලුවකි.

“අපට උස ළමයි අවශ්‍ය වුනා. සමීර නිෂංග වගේ ක්‍රීඩකයෙක් මේ කණ්ඩායමේ සිටිය යුතුව තිබුණා. ඒත් තේරීම් කමිටුව අපට ඒ ළමයාව දුන්නේ නැහැ. අප්‍රේල් 12 වෙනකොට අවසන් කණ්ඩායම තෝරලා දෙන්න කිව්වත් අපට කණ්ඩායම ලැබුණේ 20 වෙනිදායි.” උස ඇති ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ ඉතා විරල ය. ජාත්‍යන්තර තරගාවලියකට වොලිබෝල් කණ්ඩායමක් තේරීමේ දී උසයන සාධකය ඉතා වැදගත් බව නැවතත් සිහි කළේ චන්න ජයසේකර මහතායි.  අපට සිටින උස සහිත ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් දෙතුන් දෙනෙකු හෝ කණ්ඩායමට ඇතුළත් නොවූයේ මන්දැයි යන්න ගැටලුවකි.

පළමු වටය 25-11ක් වශයෙන් ජය ගත් ජපානය, දෙවන වටය ජය ගත්තේ 25-17ක් වශයෙනි. පසුව 25-13ක් වශයෙන් පහසුවෙන්ම මීළඟ වටයත් ජය ගත් ඔවුන් තරගයේ ජය, වට 3/0ක් ලෙස තමන් සතුකර ගත්තේය.

ඒත් සමඟින් දෙවන වටයට පිවිසීම සඳහා, තායිලන්තය සමඟ පැවති මීළඟ තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය විය.

මැයි 03 – තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව

courtesy - iranvolleyball.com
courtesy – iranvolleyball.com

ආසියාවේ නැගී එන වොලිබෝල් කණ්ඩායම් අතර ප්‍රමුඛතම ස්ථානයක් තායිලන්තයට හිමි වේ. සිය පළමු තරගයේ දී ජපානයට එරෙහිව ක්‍රීඩා කළ තායිලන්තය, තරගය වට 5ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. ශ්‍රී ලංකාව වට 3/0ක් වශයෙන් ජපානය හමුවේ පරාජය වූ පසුබිමක දී තායිලන්ත අභියෝගය අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබූ බැවින් යම් පීඩනයක් ක්‍රීඩකයන් හමුවේ තිබුණි.

එහෙත් තරගයේ පළමු වටය 25-23ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. දෙවන වටයේ දී ද  ලකුණු 21-18ක් වශයෙන් ඉදිරියෙන් පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර විසින් ලබා දුන් උපදෙස් පිළිපැදීමට නොහැකි වූ අතර එම වටය 21-25ක් ලෙස පරාජය වන්නට සිදුවූයේ නොසිතු විලසිනි. මීළඟ වටය ඉතාමත් තීරණාත්මක බැවින් පුහුණුකරුවන් කණ්ඩායමට තවත් උපදෙස් ලබා දුන් අතර ඔවුන් ඒවා සිදු කිරීමට අසමත් වූ බැවින් තායිලන්ත ආවරණයන් සවිමත් විය. එම වටයත් 19-25ක් ලෙස පරාජය වී අවසන් වටයත් 18-25ක් ලෙස පරාජය වී වට 3/1ක් ලෙස තරගය පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

“තායිලන්ත තරගය අපට දිනන්න තිබුණා. ඒත් පරතරයක් හදාගන්න කොට අපේ එක් උසපන්දු ප්‍රහාරකයෙක් ආවරණය වෙද්දී, ඊට ආදේශ කරන්න කෙනෙක් හිටියේ නෑ. මොකද, නදීප ලිබරෝ ස්ථානයට දාන්න අපට සිදුවුණ නිසා.” චන්න මහතා එම තරගය ගැන දැරුවේ එවන් අදහසක්.

ලිබරෝ ක්‍රීඩකයා නැති එක ලොකු අවාසියක් වුනා. එයාලා (තායිලන්තය) අපිව ගොඩක් විශ්ලේෂණය කරලා තිබුණා. දෙවැනි වටයේ 13-12ක් හැටියට ඉදිරියෙන් ඉඳලා තමයි අපි පසුබැස්සේ.” නායක අයේෂ් පෙරේරා, තරගය ගැන සිය අදහස් පළකළේ එසේයි.

මැයි 04 – උස්බෙකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව

Sri v Usb 1දෙවන වටයට පිවිසීමට අපොහොසත් වීම නිසා ශ්‍රේණිගත කිරීමේ තරගවලට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එබැවින් උස්බෙකිස්තාන කණ්ඩායමට එරෙහිව තරග වදින්නට ශ්‍රී ලංකාව පිටියට පිවිසියේය.

ශ්‍රී ලංකා 23න් පහළ යෞවනයන්ට මේ තරගයේ දී ද එල්ල වූයේ දැඩි අභියෝගයකි. උසින් සහ ශක්තියෙන් වැඩි උස්බෙකිස්තාන කණ්ඩායම හමුවේ තරගයේ පළමු වටය 25-20ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

දෙවන වටයට කිසිසේත්ම අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉඩ නොතැබූ උස්බෙකිස්තාන ක්‍රීඩකයන් එය 25-16ක් ලෙස ජය ගත් අතර  බොහෝ දෙනාගේ මතය වූයේ ශ්‍රී ලංකාව තරගයෙන් පසු බැසී ඇති බවයි. එනමුත් සාර්ථකව තෙවන වටයට අවතීර්ණ වෙමින් එය 24-26ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර සිව්වන වටයට ද හොඳින් අවතීර්ණ වෙමින් එය 26-28ක් ලෙස ජය ගන්නට ඔවුන් සමත් විය.

පස්වැනි සහ අවසන් වටය තුළ දී  කරට කර තරගයක් දැකිය හැකි වුවත් එහි දී  උස්බෙකිස්තානය අභිබවා යමින් ලකුණු 14-16ක් ලෙස ජය ලබා ගත් ශ්‍රී ලංකාව, සමස්ත තරගය ද ජය ගත්තේය.

මැයි 07 – උස්බෙකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව

courtesy – iranvolleyball.com
courtesy – iranvolleyball.com

ආසියානු 23න් පහළ ශ්‍රේණිගත කිරීමේ 09 සහ 10 යන ස්ථාන කා සතු දැයි තෝරා බේරා ගැනීම වෙනුවෙන් මෙම තරගය පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකා උපක්‍රම මැනවින් විශ්ලේෂණය කොට පැමිණීම නිසා උස්බෙකිස්තානයට තරගය මඳක් පහසු වූ අතර වෙනස්කම් සමඟින් තරගයට පිවිසීමට සිදුවීම ශ්‍රී ලංකාවට මඳක් අපහසු විය.

25-23ක්, 25-21ක් සහ 25-21ක් වශයෙන් තරග වට 3/0ක් ලෙස තරගය ජය ගන්නට උස්බෙකිස්තානය සමත් වූ අතර උස්බෙකිස්තානය ශ්‍රේණිගත කිරීමේ 09 වැනි තැනටත්, ශ්‍රී ලංකාව 10 වැනි තැනටත් පත්විය.

“උස්බෙකිස්තානය හොඳ කණ්ඩායමක්. ඔවුන් කසකස්තානය පරාජය කරලා තායිපේට වට 5ක තරගයක් දුන්නා. තරගාවලිය ඉතාමත් ඉහළ මට්ටමක තිබුණු බව පැහැදිලි වෙන්නේ ඕස්ට්‍රේලියාව අවසන් ස්ථානයට පත්වූ නිසා. ඉතින් ක්‍රීඩකයන්ට බනින්න බැහැ.” චන්න ජයසේකර මහතා තරගාවලියෙන් අනතුරුව කීවේය.

කෙසේ වෙතත් ශරීර ශක්තියෙන් ලොව අනෙකුත් රටවල් හා කරට කර නොසිටියත්, දක්ෂතා වලින් පමණක් ඔවුන්ට අභියෝග කරන ශ්‍රී ලංකා වොලිබෝල් ක්ෂේත්‍රය නියෝජනය කරන 23න් පහළ වොලිබෝල් කණ්ඩායමට තවත් කණගාටුදායක තරගාවලියක මතකයන් එක්විය. එහෙත් මෙය හොඳ අත්දැකීමක් කර ගත හැකි නම් ඔවුන්ට අනාගතය වෙනුවෙන් හොඳින් සූදානම් විය හැකිය. මුදල් පවා අය නොකරගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයන්ට දොස් පැවරීමට ThePapare.com අප කිසිසේත්ම සූදානම් නැත.

අපට පැහැදිලිවම ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ආ හැකියි. පකිස්තානය 06 වුනා නම්, තායිපේට ගහපු තායිලන්තයට අපි වට 5ක තරගයක් දුන්න නම්, අපට ආසියාවේ 4,5 කියන ස්ථාන ජය ගන්න පුළුවන්. මේ තේරීම් කමිටු, සම්මේලන කියන හැමදෙනාම එකතු වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. මොකද අපේ කණ්ඩායම නියෝජනය කරන්නේ රටක්.” ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර මහතාගේ අදහස පැහැදිලි ය.  

23න් පහළ නායක අයේෂ් පෙරේරා පසුවන්නේ මෙවන් මතයක ය.

තව ටිකක් පුහුණුවීම් වැඩි කරන්න ඕන. විශ්ලේෂණ කටයුතුත් තව දියුණු කර ගත්තොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්.” ඔහු කීවේය.

වොලිබෝල් ක්‍රීඩාව අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇත. නව උපක්‍රම සහ විශ්ලේෂක කණ්ඩායම් සමඟින් ක්‍රීඩාව ප්‍රතිස්ථාපනය කරගතහොත්, එමෙන්ම සියලු බලධාරීන් කඹ ඇදීමෙන් තොරව එකාමෙන් කටයුතු කරමින් වඩාත්ම හොඳින් කණ්ඩායමට ශක්තියක් විය හැකි නම් අපගේ ජාතික ක්‍රීඩාවේ සවිය ලොවට දැනෙන දිනය සිහිනයක් නොවනු ඇත.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට