වෙල්ලාලගේ සහ රවීන්ගේ දස්කම් මතින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

258

ශ්‍රී ලංකා 19න් පහළ උපනායක රවීන් ද සිල්වා ලබා ගත් ලකුණු 88 සහ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් අතර පැවති සිව්වැනි යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ අනුව තරග පහකින් සමන්විත මේ තරගාවලියේ 4-0ක් ලෙස පෙරමුණ දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අද තරගය සඳහා අවතීර්ණ වුනු අතර ඒ අනුව යසිරු රොද්‍රිගෝ සහ ට්‍රෙවින් මැතිව් වෙනුවට දනාල් හේමානන්ද සහ සසංක නිර්මාල් මේ තරගයට ක්‍රීඩා කළා. එය ඔවුන් දෙදෙනාගේම පළමු ජාත්‍යන්තර යොවුන් එක්දින ක්‍රිකට් තරග අත්දැකීම වුනා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – හරිඳු ජයසේකර, රයන් ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, ලහිරු දවටගේ, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), විනුජ රන්පුල්, වනුජ කුමාර, දනාල් හේමානන්ද, සසංක නිර්මාල්

බංග්ලාදේශය – Mahfijul Islam, Iftikher Hossain, Prantik Nawrose Nabil, Aich Mollah, SM Meherob (නායක), Ariful Islam, Tahjibul Islam,  Ahosan Habib, Mohiuddin Tareq, Naimur Rohman.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය වෙනුවෙන් සුඋරුදු පරිදි යම් සාර්ථක ආරම්භයක් ලබා දීමට Mahfijul Islam සහ Iftikher Hossain සමත් වුනා. එහි දී ඔවුන් දෙදෙනා ලකුණු 27ක සබඳතාවයක් ගොඩනංවා සිටිය දී ලකුණු 11ක් ලබාගෙන සිටි Iftikherගේ කඩුල්ල දවා ගැනීමට නිර්මාල් සමත් වුනා.

දකුණතින් පිට දඟපන්දු යවන නිර්මාල් සිය මංගල යොවුන් ජාත්‍යන්තර එක්දින තරගයේ ක්‍රියාත්මක කළ පළමු පන්දුවෙන්ම ඒ කඩුල්ල දවා ගැනීම සුවිශේෂී වෙනවා.

ලකුණු 109කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු බංග්ලාදේශ ඉනිමේ මැදපෙළ සවිමත් කළ නායක SM Meherob සහ  Ariful Islam නැවත වතාවක් පිතිකරණයෙන් සාර්ථක ඵල නෙලාගනිමින් ඉනිමේ මැද පන්දුවාර තුල දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු සොරාගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් පීඩනයකට හසුකරමිනි.

කෙසේ නමුත් එම ඉනිම් එතරම්ම දුර දිග රැගෙන යාමට රන්පුල් සහ නායක වෙල්ලාලගේ ඔවුන් දෙදෙනාට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඒ අනුව 4 පහර 4ක් සමඟ ලකුණු 52ක් ලබාගෙන සිටි SM Meherob සහ 4 පහර 3ක් සමඟ ලකුණු 50ක් ලබාගෙන සිටි Islamගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කරවීමට සමත් වුනා.

ඊට අමතරව මේ තරගාවලිය පුරාවට මැදපෙළ පිතිකරුවෙක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා ගත් Aich Mollah මේ තරගයේ දීත් ලකුණු 37ක් ලබා ගන්නා විට, ආරම්භක පිතිකරු Mahfijul ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 64ක් තුලයි.

අවසානයේ දී බංග්ලාදේශ ඉනිම ලකුණු 224කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනු අතර නායක වෙල්ලාලගේ ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් සුපිරි දස්කම් පෙන්නුවා.

ලකුණු 225ක සටන්කාමී ලකුණු ප්‍රමාණයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් හට නැවත වරක් සාර්ථක වීමට බංග්ලාදේශ ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක Mushfik Hasan අවස්ථාව ලබා දුන්නේ නැහැ.

4 පහර සහ 6 පහර 2ක බැගින් එල්ල කරමින් පන්දු 34ක දී ලකුණු 32ක් ලබාගෙන සිටි ශෙවෝන් ඩැනියල් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස දැවී ගියා.

ලකුණු 64කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම ගොඩනැංවූ පතිරාජ සහ රවීන් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එම සබඳතාවය නිමා කරමින් ලකුණු 26ක් ලබාගෙන සිටි පතිරාජගේ ඉනිම අවසන් කරන්නට Rohman සමත් වුනේ නැවතත් බංග්ලාදේශ කණ්ඩායමට නව රිද්මයක් ලබා දෙමිනි.

කෙසේ නමුත් සිය වගකීම් හරි හැටි තේරුම් ගත් රවීන් ද සිල්වා ශ්‍රී ලංකා මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් සමඟ උරෙනුර තරග කරමින් ලකුණු 88ක් ලබාගෙන සිටිය දී Mushfik Hasan යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ දැවී ගියේ තරගයේ ප්‍රතිඵලය නැවත වරක් කණ්ඩායම් දෙක අතර දෙපසට දෝලනය කරමිනි.

පන්දු 100ක දී වාර්තා වුනු ඔහුගේ එම සටන්කාමී ඉනිම සඳහා 4 පහර 9ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල දක්වා දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක් හටම පිතිකරණයේ නිරත වීමට තිබෙන හැකියාව නැවතත් විදහා දක්වමින් අවසන් පෙළ පිතිකරුවන් කිහිපදෙනා එක්ව දැඩි පීඩනකාරී මට්මක තිබුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නා.

තරගයේ ලකුණු සාරාංශය,

බංග්ලාදේශය – 224/8 (50): SM Meherob 52, Ariful Islam 50, Aich Mollah 37, Mahfijul Islam 34, දුනිත් වෙල්ලාලගේ 4/45.

ශ්‍රී ලංකාව – 225/9 (49.3): රවීන් ද සිල්වා 88, ශෙවෝන් ඩැනියල් 32, පවන් පතිරාජ 26, Mushfik Hasan 3/39, Ahosan Habib 2/44.

දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසන් යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය අනිද්දා (25) මේ ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<