ශ්‍රී ලංකාවේ පාකිස්තානය තරග සංචාරයට දින නියම වේ

2563

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා එක්වන බව පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පවසා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පැවැත්වෙන දින එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ. එම සංචාරය එළඹෙන සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Video – ‘ටෙස්ට් match ගහන්න පාකිස්තාන් යන්නේ නැහැ’ – ක්‍රීඩා ඇමති

අද (22) දින ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ දී ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දී පැවැත්වීමට…

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකා තරග සංචාරය එක්දින තරග 3කින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වේ. කරච්චි හා ලාහෝර් නගරවල එම තරග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසය දක්වා කල්දමා ඇත.

මීට පෙර පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට ද එක්දින හා විස්සයි විස්ස තරග දෙසැම්බර් මාසයේ පැවැත්වීමට ද නියමිතව තිබුණි. නමුත් ශ්‍රී ලංකා හා පාකිස්තානය  ක්‍රිකට් බලධාරීන් එම තරගාවලි වලට අදාළ දින වෙනස් කිරීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 25 වැනිදා කරච්චි වෙත ළඟා වීමට නියමිත අතර එහි දී එක්දින තරග තුනක් ක්‍රීඩා කරනු ඇත. ඒ සැප්තැම්බර් මස 27, 29 හා ඔක්තෝබර් 2 වැනිදා ය. ඉන් අනතුරුව ලාහෝර් නගරයේ දී විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරග ඔක්තෝබර් මස 5, 7 හා 9 වැනිදා පැවැත්වේ. ඉන් අනතුරුව ඔක්තෝබර් මස 10 වැනිදා නැවතත් මෙරටට පැමිණීමට නියමිතය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මානි මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා.

“පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගොඩක් සතුටු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් මේ වගේ තීරණයකට පැමිණීමට හැකි වීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැමවෙලේම ඔවුන්ගේ උපරිම සහයෝගය දක්වලා තියනවා පාකිස්තානය නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තලයට පැමිණීමට ගන්නා උත්සාහයන් වලදී. මේ එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට හොඳ අවබෝධයක් ලබා දේවි මේ ක්‍රීඩාංගණවල පවතින ආරක්ෂක තත්වයන් ගැන. ඒක අපිට පහසුවක් වේවි ටෙස්ට් තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට.”

“අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට, ඔහුගේ ආයතන නිලධාරීන්ට වගේම ක්‍රීඩකයන්ට අපේ මේ ආරාධනාවට සුභවාදීව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මෙම තරගාවලිය පිළිබඳව. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දීමටත් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. “

මෙම තරගාවලිය පාකිස්තානයට හා එරට ප්‍රේක්ෂකයන්ට දිගු කලක සිට බලාපොරොත්තු වූ පූර්ණ ජාත්‍යන්තර තරගාවලියක බලාපොරොත්තු ලබා දීමට සමත්ව ඇත.  2009දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ලෝක එක්දින කණ්ඩායම් පාකිස්තානයේ තරග සංචාරවලට එක්ව ඇත.

තරග පාවාදීම නිසා තහනමකට ලක්වූ ඉන්දීය ක්‍රීඩකයෙක් නැවතත් පිටියට!

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරග තහනමකට ලක් වූ ශාන්ත කුමාරන් ශ්‍රීසාන්ත්ට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මෙම තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටියා.

“පාකිස්තානය ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින දීර්ඝ කාලීන ක්‍රිකට් මිත්‍රත්වය මේ තීරණයත් සමඟින් තවත් ශක්තිමත් වේවි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා එරට ක්‍රිකට් වල දියුණුව සඳහා කරච්චි හා ලාහෝර් වලට ගිහින් තරගාවලියට සහභාගි වීමට.”

“ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක්. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව යම් ගැටලුවක් තියනවා නම් අපි මේ තරගාවලියට එකඟ වෙන්නේ නෑ.”

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – සැප්තැම්බර් මස 27 කරච්චි හිදී
  • දෙවන එක්දින තරගය – සැප්තැම්බර් මස 29 කරච්චි හිදී
  • තුන්වන එක්දින තරගය – ඔක්තෝබර් මස 02 කරච්චි හිදී
  • පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් මස 05 ලාහෝර් හිදී
  • දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් මස 07 ලාහෝර් හිදී
  • තුන්වන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් මස 09 ලාහෝර් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<