ක්‍රීඩා කවුන්සිලය රැස්වෙයි; සංගා-මහේලගෙන් සුපිරි සැලසුම්

854

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ 2021 වසරට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අද (03) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන, එහි සාමාජිකයන්, මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් රැස්ව සිටි පිරිස ඇමතූ ක්‍රීඩා අමාත්‍යවරයා එම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළ අතර මෙවර අයවැයෙන් ක්‍රීඩාවට වෙන් කළ ප්‍රමාණය පිළිබඳව ද පැහැදිලි කිරීමක් කළා.

“ඔබ දන්නවා ඇති රජයේ තරුණ සහ ක්‍රීඩා කටයුතු නව මාවතකට යොමු කිරීම සඳහා තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැවැන්ත වැඩ පිළිවෙළක් සංවිධානය කරමින් යන කාලසීමාවක් කියලා. විශේෂයෙන්ම 2024, 2028 සහ 2032 වසරවල් වල ජාතික සහ ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය කිරීම සඳහා ලෝක කුසලාන සහ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න දැක්මක් එක්ක වැඩ කරන කාලසීමාවක් කියලා.

ක්‍රීඩා කවුන්සිලය පසුගිය මාස කිහිපය තුළ ඉතාමත් කැපවීමෙන් දැඩි වෙහෙසක් දරමින් මෙම ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ නව වෙනසක් ඇති කරන්න අවශ්‍ය වැඩ පිළිවෙළ නිර්මාණය කර මේ වෙන කොට යම් යම් වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කරන තත්වයට ගෙනල්ලා තියෙනවා.

විශේෂයෙන්ම ගත්තොත් මෙවර අයවැය නිර්මාණය කිරීමේ දී අපි පැහැදිලිවම ක්‍රීඩා දෙපාර්තමේන්තුවත් ක්‍රීඩා කවුන්සිලත් එකතු කරගෙන ඉතිහාසයේ පළමු වතාවට සමස්ත අමාත්‍යාංශයට වෙන්වෙන මුදල්වලින් 20% ක්‍රීඩකයාගේ අභිවෘද්ධිය උදෙසා, ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු, පෞරුෂත්ව වර්ධනය ඒ වගේම මානසිකත්ව වර්ධනය සඳහා වැය කරන්න අපි තීන්දුවක් ගත්තා.

ඒ තීන්දුවට අපිට උපදෙස් ලැබුණේ ක්‍රීඩා කවුන්සිලය මගින් කරපු සමීක්ෂණවලට අනුකූලව ලැබුණු නිගමන සහ උපදෙස් මත තමයි ඒ වැඩ කටයුතු ආරම්භ කළේ” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එම අවස්ථාවෙන් පසු ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන මහතා, සාමාජික ජූලියන් බෝලිං මහතා සහ සාමාජික කුමාර සංගක්කාර මහතා විසින් ක්‍රීඩා කවුන්සිලයේ ඉදිරි වසර සඳහා සැකසූ සැලසුම් පිළිබඳව දැනුවත් කළා.

එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උසස් දක්ෂතා ඉහළ නැංවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබූ අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ඔලිම්පික් උළෙල, පැරාලිම්පික් උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය වැනි ලොව ප්‍රධාන පෙළෙහි තරගාවලි ඉලක්ක කරගනිමින් එම සැලසුම් සකස් කර තිබෙනවා.

එහි දී මෙරට ක්‍රීඩා සහ ක්‍රීඩකයන් කාණ්ඩ හතරකට වෙන් කර ඇති අතර එහි පළමු කාණ්ඩය සඳහා ඉහළ කාර්ය සාධනයක් (පදක්කම් හෝ ජයග්‍රහණ ලබාගන්නා) සහිත ක්‍රීඩා සහ ක්‍රීඩකයන් ඇතුළත් කර තිබෙනවා.

දෙවන කාණ්ඩය සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තනි වශයෙන් සහභාගි වන ප්‍රධාන ඉසව් 08ක් සහ කණ්ඩායම් වශයෙන් සහභාගී වන ප්‍රධාන ඉසව් 06ක් ඇතුළත් කර තිබූ අතර එම කාණ්ඩය ප්‍රධාන වශයෙන් ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු පැරා ක්‍රීඩා උළෙල සහ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල යන තරගාවලි ඉලක්ක කර තිබෙනවා.

තෙවැනි කාණ්ඩය සඳහා වසර 4-12ක කාලය තුළ දෙවන කාණ්ඩය වෙත පැමිණීමට හැකි ක්‍රීඩා සහ ක්‍රීඩකයන් ඇතුළත් වන අතර එම කාණ්ඩය ද දෙවන කාණ්ඩයේ තරගාවලි ඉලක්ක කර තිබෙනවා.

එම වර්ගීකරණයේ සිව්වැනි සහ අවසාන කාණ්ඩය සඳහා ඉහත වර්ගීකරණ කාණ්ඩ තුළ ඇතුළත් නොවන ක්‍රීඩා ඇතුළත්.

එමෙන්ම ක්‍රීඩක උසස් දක්ෂතාවයන් වර්ධනය කිරීම සඳහා කිරිමණ්ඩල මාවත සහ දියගම කේන්ද්‍ර කරගනිමින් උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීමට නියමිතව ඇති අතර පළාත් නවය කේන්ද්‍ර කරගනිමින් කලාපීය පුහුණු මධ්‍යස්ථාන නවයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්: 

එමෙන්ම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඉහළ නංවා ගැනීම සඳහා ටොරින්ටන් ක්‍රීඩා පිටියේ ධාවන පථය මංතීරු හයකින් යුත් කෘතීම ධාවන පථයක් දක්වා උසස් කර නැවත නිර්මාණය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව වසරේ ක්‍රීඩා කැලැන්ඩරය සඳහා ද ක්‍රීඩා කවුන්සිලයේ අවධානය යොමුව තිබූ අතර එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පැවැත්වූ ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි විදෙස් ක්‍රීඩකයන් සහභාගි වන තරගාවලි පාපන්දු, දැල්පන්දු වැනි ක්‍රීඩා කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට ද අවධානය යොමු කර ඇත.

එමෙන්ම සියලු ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සංගම් එක් කරගනිමින් නව මෘදුකාංගයක් නිර්මාණය කරගනිමින් කුඩා කල සිටම ක්‍රීඩකයන්ගේ දත්ත එක් රැස් කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දත්ත ගබඩාවක් ද නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී මලල ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කරමින් ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ, ජාතික සහ සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තරගාවලියක් අප්‍රේල් මාසයේ දීත්, ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මැයි මාසයේත්, ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

මීට අමතරව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාසල් පිටියේ තරග පැවැත්වීම (මහා ක්‍රිකට් තරග ඇතුළු) පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කර අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ඕනෑම තරගයක් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<