ක්‍රීඩකයින් 22ක් සමඟ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට; අලුත් මුහුණුත් ඒ අතර

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

1401
Sri Lanka tour of South Africa 2020/2021

දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකාවෙන් සහභාගී කරවන බව වාර්තා වේ. මෙම තරගාවලිය සඳහා ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ය.

ඒ අනුව හෙට (13) සිට මෙම ක්‍රීඩකයින් සියලු දෙනා ජෛව ආරක්‍ෂිත පරිසරයකට (Bio-Secure’ environment) යොමු කරන අතර ඔවුන් සියලුම දෙනා නොවැම්බර් 13 වැනිදා සිට 22 වැනිදා දක්වා සිය මූලික පුහුණුවීම් වල නිරත වනු ඇත. 

එම පුහුණු කටයුතු නිමා වූ පසුව මෙම සංචිතය තුල සිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් හම්බන්තොට බලා පිටව යන අතර අනෙක් ක්‍රීඩකයින් නැවතත් කොළඹට පැමිණෙනු ඇත.

LPL තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන අතර එයට පසු දින (17) දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඊට පෙර ඔවුන් සියලුම දෙනාගේ PCR පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය වන නමුත් දකුණු අප්‍රිකාව තුල අනිවාර්ය නිරෝධායන කාලයක් ගත කිරීමට අවශ්‍ය නොවේ.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියේ තිබෙන ටෙස්ට් තරග දෙකට අමතරව තුන්දින පුහුණු තරගයක් ද පැවැත්වීමට නියමිත අතර ජනවාරි 7 වැනිදා තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දිවයිනට පැමිණ දින 7ක් ගාල්ලේ දී නිරෝධායනය වනු ඇත. ඒ ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය (ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග 2) වෙනුවෙනි.

දැනට දිවයිනේ පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය වෙත යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එංගලන්ත ක්‍රිකට් ආයතනය ඒ සඳහා තවමත් නිසි පිළිතුරක් ලබා දී නොමැත.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වී නොමැත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල දින නියමයක් නොමැතිව කල් දමන ලදි.

ඒ අනුව දකුණු අප්‍රිකානු සංචාරයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ මාස 10කට ආසන්න දිගු විරාමයකට පසුව වීම විශේෂත්වයකි.

2020 අගෝස්තු මාසයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා සූදානමින් සිටි අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur ඇතුළු ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සූදානමින් සිටින ලදි. නමුත් එම තරගාවලිය සැලසුම් කර ගත් පරිදි පවත්වා ගැනීමට නොහැකි වූයේ නිරෝධායන කාලය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙනි.

ක්‍රීඩකයින් 22 දෙනකුගෙන් යුත් මෙම සංචිතය සඳහා ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුශංක යන යොවුන් ක්‍රීඩකයින් ද ඇතුළත්. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ හිටපු නායක ගුණතිලක දකුණතින් වේගපන්දු යැවීමේ හැකියාව තිබෙන අතරම මැදපෙළ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමේ හැකියාව ද පවතී. එය මේ සංචිතයේ සමබරතාවයට විශාල රුකුලක් වනු ඇත.

පළමු පෙළ තරග තුනක් සඳහා ක්‍රීඩා කර තිබෙන මදුශංක 19න් පහළ සංචිතය නියෝජනය කරමින් අත්දැකීම් ලබාගෙන තිබෙන අතර ඔහු යොවුන් එක්දින තරග 16ක් තුල කඩුලු 7ක් දවාගෙන ඇත්තේ 23.37ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

එසේම තවත් දක්ෂ යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙක් වන දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද මෙම සංචිතය සඳහා ඇතුළත්ය. 

අවසන් වරට පැවති දේශීය තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා වෙමින් බංග්ලාදේශ තරගාවලියේ මූලික ටෙස්ට් සංචිතයේ සිටි ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ දුවිඳු තිලකරත්න හට මේ සංචිතයේ ඉඩක් වෙන්ව නොමැත.

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ නිල කාලය මීට මාස කිහිපයකට පෙර අවසන් වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කර තිබෙන නව තේරීම් කමිටුවට තවමත් අනුමැතිය හිමිව නොමැත. කෙසේ නමුත් එම කමිටුව සුළු වෙනස්කම් කිහිපයක් හැරෙන්නට විශාල වෙනසක් සිදු නොවනු ඇත.

“අපිට තවමත් නිල වශයෙන් බලයක් ලැබිල නැහැ. ඒක නිසා දැනට නිල වශයෙන් මේ සංචිතය අපිට තෝරාගන්න බැහැ. හැබැයි ප්‍රධාන පුහුණුකරු Mickey [Arthur] මාත් එක්ක මේ සංචිතයට එන්න ඕන ක්‍රීඩකයින් ගැන කතා කළා. ඒ කණ්ඩායම ඇත්තටම හොඳයි. ප්‍රධාන පුහුණුකරු මීට සති කිහිපයකට උඩ දී මේ ක්‍රීඩකයින් එක්ක විශේෂ පුහුණු සැසි කිහිපයක්ම කළා, ඒවත් බලලා තමයි මේ සංචිතය තෝරාගත්තේ. අපිට මේ සංචිතය නිල වශයෙන් ප්‍රකාශ කරන්න බැරි වුනත්, මේ සංචිතය සඳහා තමයි අපිට දැනට තියෙන හොඳම සංචිතය කියලා අපි හිතනවා” යැයි ද මෙල් මහතා කණ්ඩායම් කළමනාකරු ලෙස Daily FT වෙත පවසා තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේ පැවති ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර දකුණු අප්‍රිකාවේ දී එවැනි දස්කමක් දැක්වූ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමට ද ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පැවති පළමු තරගයේ දී කුසල් පෙරේරා ලබා ගත් සුපිරි ලකුණු 153 කැපී පෙනුනි.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් 6 වැනි ස්ථානයේ සිටියි. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙක සඳහා ප්‍රසාද ලකුණු 120ක් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

දකුණු අප්‍රිකාව බලා යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

  • 2020 දෙසැම්බර් 20 – 22: තෙදින පුහුණු තරගය – Benoni හිදී
  • 2020 දෙසැම්බර් 26 – 30: පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – Centurion හිදී
  • 2021 ජනවාරි 03 – 07: දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය – Johannesburg හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<