2020 ආසියානු කුසලානය ලංකාවේ?

4156
Sri Lanka to host 2020 Asia Cup

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු හමුව අන්තර්ජාල වීඩියෝ සංවාදයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි දී මීළඟට පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට සත්කාරකත්වය පිරිනැමීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

හිටපු පාකිස්තාන ප්‍රබලයෙක් පුහුණු තනතුරකට

මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන දේශපාලනික අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් ඉන්දියාව පාකිස්තානයට නොපැමිණෙනු ඇත. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එම ඇරයුම පිළිගෙන ඇත.

“අපි පාකිස්තානු ක්‍රිකට් ආයතනය එක්ක මේ ගැන කතා කළා. ඔවුන් ඔවුන්ට තිබෙන සත්කාරකත්වය අපිට ලබා දීමට කිසිදු අකමැත්තක් ප්‍රකාශ කළේ නැහැ. ඔවුන් ඒකට කැමති වුනා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා Ceylon Today පුවත් පත වෙත අදහස් දක්වමින් පවසා ඇත.

එසේම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ICC විසින් නිසි තීරණයක් ලබාගන්නා තෙක් මේ පිළිබඳව අවසන් තීරණයක එළඹීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නොහැකි වනු ඇති බව ද එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සිල්වා මහතා පැවසීය.

“ක්‍රිකට් ආයතනය මට විශ්‍රාම ගන්න බල කරපු එක ගැන ගොඩක් කණගාටුයි.” – Mortaza

මේ හමුව සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරනු ලබන නස්මුල් හසන් මහතා මෙන්ම ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් කිහිපයේ ක්‍රිකට් ආයතන වල ප්‍රධානීන් ද සහභාගී විය. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරොව් ගංගුලි මහතා පළමු වතාවට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් සඳහා සහභාගී වූ පළමු හමුව ද එය වීම සුවිශේෂී විය.

එසේම පැවති එම හමුවේ දී Covid-19 වසංගතයෙන් පසුව ආසියානු කලාපය තුල නැවත ක්‍රිකට් තරග/තරගාවලි ආරම්භ කරන ආකාරය සහ කණ්ඩායම් සඳහා අවශ්‍ය එළිමහන් පුහුණුවීම් නැවත සෞඛ්‍යාරක්ෂිතව ආරම්භ කිරීම පිළිබඳව ද අවධානයට ලක් විය. 

ඊට අමතරව 2022 වසරේ දී චීනයේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සඳහා ක්‍රිකට් ක්‍රීඩා තරග පැවැත්වීමට සැලසුම් කොට තිබෙන අතර ඒ සඳහා තිබෙන සූදානම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ආකාරය පිළිබඳව ද එහි දී සාකච්ඡාවට ලක්කර තිබේ.

1984 සිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 1986, 1997, 2004 සහ 2010 යන වසරවල දී පැවති තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දී ඇති අතර ඒ සත්කාරකත්වය ලබා දුන් අවස්ථාවන් හතරෙන් තුනක දී ම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<