Aussie ක්‍රිකට් ලීගයේ ශූරතාව ශ්‍රී ලංකාවට

Aussie ක්‍රිකට් ලීගය 2022

4335

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණු 2022 Aussie ක්‍රිකට් ලීගයේ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

ඊයේ (26) මෙල්බර්න් හිදී පැවැත්වුණු අවසන් මහා තරගයේ දී පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව මේ ශූරතාවය දිනා ගත්තා.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම ලෙස කණ්ඩායම් 6ක් සහභාගී වුනු මේ තරගාවලියේ දී A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරග කළා.

මූලික වටය අවසානයේ දී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව, අවසන් පූර්ව තරගයේ දී තියුණු සටනකට පසුව ලකුණු 4කින් ඉන්දියාව පරාජය කරමින් මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට කළා.

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාකිස්තානය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 104ක් ලබා ගන්නට හැකියාව ලැබුණා. දකුණතින් වේගපන්දු යවන අරෝෂ ජනෝද ලකුණු 20කට කඩුලු 3ක් දවාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළා.

ලකුණු 105ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව 19 වැනි පන්දුවාරය තුල දී කඩුලු 5ක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ඩිලාන් චන්දිම, 4 පහර 3ක් එල්ල කරමින් පන්දු 39ක් තුල ලකුණු 30ක් ලබා ගත්තා. තරගාවලිය පුරාවට තරග 5ක දී කඩුලු 8ක් දවා ගත් ජනෝද අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මහේල උඩවත්ත මේ තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා XI කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද මේ තරගාවලියට ක්‍රීඩා කළා.

එසේම ලෝක පූජිත හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මේ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීම කැපී පෙනුණා.

පාකිස්තානය XI – 104/7 (20) Fawad Malook 25, Saad Khattak 21, අරෝෂ ජනෝද 3/20

ශ්‍රී ලංකා XI – 105/5 (18.5) ඩිලාන් චන්දිම 30, Muhammad Amir 2/15

ශ්‍රී ලංකා XI කණ්ඩායමට කඩුලු 5ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<