ධර්මාශෝක සහ සුජාතා විද්‍යාල අවසන් තරඟයට

507

දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලියේ ඊයේ (14) සහ අද (15) පැවති කාන්තා තරඟ වලින් සුජාතා බාලිකා විද්‍යාලයේ සහ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩාවන් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

පසුගිය ලිපි: ධර්මාශෝක ක්‍රීඩකයින් අපරාජිත බව රැකගනී

අනුලා දේවි බාලිකා විද්‍යාලය හා සුජාතා බාලිකා විද්‍යාලය

සුජාතා බාලිකාවන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ ගියවර අහිමි වූ ශූරතාවය තමන් සතු කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

අනුලා දේවි විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ සුජාතා විද්‍යාලයේ වත්සලා සමඟින් ඇයට ඉතා හොඳ සහයෝගයක් ලබා දුන් නායිකා තරුෂි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වැඩිකර ගැනීමට සමත්විය.

ඒ අනුව පළමු අර්ධයේ මුල් කාර්තු දෙක තුළ ලකුණු 10ක් හා 04ක් ලබා ගැනීමට සුජාතා බාලිකාවන් සමත් වුවත්, අනුලා දේවි බාලිකාවන් හට ලබා ගත හැකි වූයේ ලකුණු 03ක් පමණි.

පළමු අර්ධය: සුජාතා බාලිකා විද්‍යාල 14 – 03 අනුලා දේවි බාලිකා විද්‍යාලය

දෙවන අර්ධය තුළදී අනුලා දේවි කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කරගැනීමට තෂිලා ‍ප්‍රබෝධනී උත්සහ ගත්තද, ඊට සාපේක්ෂව සුජාතාවන් එල්ල කළ අභියෝගය ප්‍රබල වූ බැවින් අවසන් වටයේදී අනුලා ක්‍රීඩිකාවන් හට ලබා ගත හැකිවූයේ ලකුණු 02ක් පමණි.

සම්පූර්ණ ලකුණු: සුජාතා බාලිකා විද්‍යාල 34 – 05 අනුලා දේවි බාලිකා විද්‍යාලය

සුජාතා බාලිකා විද්‍යාල අනුලා දේවි බාලිකා විද්‍යාලය
පළමු කාර්තුව 10 03
දෙවන කාර්තුව 04 00
තෙවන කාර්තුව 06 00
සිව්වන කාර්තුව 14 02

ධර්මාශෝක විද්‍යාලය සහ සුජාතා විද්‍යාලය

දෙවන කාන්තා තරඟය පැවැත්වූයේ පසුගිය වසරේ දකුණු පළාත් ශූරතාවය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය හා සුජාතා බාලිකා විද්‍යාලය අතරයි.

සුජාතා බාලිකාවන් බලාපොරොත්තු පොදිබැඳගෙන තරඟයට සහභාගී වූවත්, ධර්මාශෝක ක්‍රීඩිකාවන් හමුවේ එම බලාපොරොත්තු සුන්වී ගියේ ධර්මාශෝක ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 41- 02ක් ලෙස පරාජයට පත්වීමත් සමඟිනි.

මෙම තරඟයේදී ධර්මාශෝක විද්‍යාලයේ සෙනුරි ප්‍රමෝධ්‍යා පිටිය තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් තම කණ්ඩායම ජය මාවත දෙසට තල්ලු කලාය. රුවිනි ශෂ්රිකා හා නුහන්සා යන ක්‍රීඩිකාවන් දෙදෙනාද ප්‍රතිවාදීන්ට තර්ජනයක් වෙමින් ලකුණු ලබා ගැනීමට සමත්විය.

ඒ අනුව පළමු අර්ධයේ මුල් කාර්තු දෙක තුළ ලකුණු 16ක් හා 08ක් ධර්මාශෝක කණ්ඩායම ලබා ගන්නා විට සුජාතා බාලිකාවන් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නොවීය.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 24 – 00 සුජාතා බාලිකා විද්‍යාලය

දෙවන අර්ධයේදී ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සුජාතා බාලිකාවන්ට සිදුවන විට එම අර්ධයේ කාර්තු දෙක තුළ ලකුණු 09ක් හා 08ක් ලබා ගනිමින් ධර්මාශෝක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 41 – 02 සුජාතා බාලිකා විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය සුජාතා බාලිකා විද්‍යාලය
පළමු කාර්තුව 16 00
දෙවන කාර්තුව 08 00
තෙවන කාර්තුව 09 02
සිව්වන කාර්තුව 08 00

ධර්මාශෝක විද්‍යාලය සහ අනුලා දේවි විද්‍යාලය

අද (15) උදෑසන පැවැති මෙම තරඟයද ජයග්‍රහණය කරන්නට සමත්වූයේ ධර්මාශෝක ක්‍රීඩිකාවන්ය. ඒ ලකුණු 25 – 11ක් ලෙසයි.

පළමු අර්ධය තුළදී ධර්මාශෝක ක්‍රීඩිකාවන් ලකුණු 12ක් හා 02ක් ලබා ගනිද්දී අනුලා දේවි බාලිකාවන් ලකුණු 02කට සීමා විය.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 14 – 02 අනුලා දේවි විද්‍යාලය

දෙවන අර්ධය තුළදී ක්‍රියාත්මක වූ අනුල‍ා බාලිකාවේ සනාතනී රසාංගනී තම කණ්ඩායම වෙනුවෙන් සාර්ථකව ලකුණු රැස් කල නමුත් අනෙකුත් ක්‍රීඩිකාවන් හට සාර්ථක ලකුණු ලබා ගැනීමට නොහැකි විය. මෙහිදී ධර්මාශෝක ක්‍රීඩිකාවන් ලකුණු 06ක් හා 05ක් ලබා ගත් අතර එ් සඳහා සෙනුරි ප්‍රමෝධ්‍යා සමඟ එක්වු රුවිනි ශෂ්රිකා අක්‍රමණශීලීව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය සිය පාසල යටතට ගෙන ඒමට සමත් විය.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 25 – 11 අනුලා දේවි විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය අනුලා දේවි විද්‍යාලය
පළමු කාර්තුව 12 02
දෙවන කාර්තුව 02 00
තෙවන කාර්තුව 06 00
සිව්වන කාර්තුව 05 09

මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ධර්මාශෝක කාන්තා කණ්ඩායම හා සුජාතා බාලිකා විද්‍යාලය සුදුසුකම් ලැබීය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට