16න් පහළ මයිලෝ කිරුළ ශා.පීතරයන්ට

1039
St.Peters crowned the U16 Milo Champions

අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ මයිලෝ කුසලාන රග්බි තරගාවලියේ අවසන් දිනයේ තරග ඊයේ පැවැතියේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදීයි. එක් කණ්ඩායමකට  ක්‍රීඩකයන් 12 දෙනා බැගින් සීමා වූ මේ තරගාවලියේ දෙවන සහ අවසන් දිනය තුල කණ්ඩායම් 16ක් ශූරතා 4ක් වෙනුවෙන් තරග වැදුනි.

පසුගිය ලිපි: 16න් පහල රග්බි ක්‍රීඩකයෝ දස්කම් දක්වයි

දින දෙක පුරාවටම ඉතා ඉහල මට්ටමේ දස්කම් ප්‍රකට කළ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය කුසලාන ශූරතාවට හිමිකම් කීවේ තම කණ්ඩායමේ සිටි වේගවත් ක්‍රීඩකයන්ගේ ධාවන කුසලතා මනාව ප්‍රයෝජනයට ගනිමිනුයි.

නියමිත කාලයට වඩා ප්‍රමාද වී වුවද දෙවන දිනයේ තරග ආරම්භ වූයේ කුසලාන අර්ධ අවසන් පූර්ව තරග වටයෙනුයි. පලමු තරගයේදී පසුගිය වසරේ ශූරයන් වූ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය තරග වැදුන අතර පීතරයන් මේ තරගය ලකුණු 29 – 00 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් විය. ඔවුන්ගේ ලකුණු 29ට උත්සාහක දිනුම් 5ක් සහ ප්‍රවර්තන 2ක් ඇතුලත් වූ අතර එම උත්සාහක දිනුම් 5ම පසුපස කලාපයේ සිට ආරම්භවූ ධාවන මගින් වාර්තා වීම කැපී පෙනුණි.

මහනුවර රග්බි ප්‍රබලයන් දෙදෙනෙකුගේ සටනක් වූ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, කිංග්ස්වුඩ් විද්‍යාලයට දැවැන්ත සටනක් දීමෙන් අනතුරුව ලකුණු 3ක වාසියකින් තරගය ජය ගන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 21 – 18 ක් ලෙසයි.

තම දේහ ශක්තිය මැනවින් උපයෝගී කරගත් කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩකයන් කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආරක්ෂක ක්‍රීඩකයන් පහසුවෙන් අභිබවා යමින් 3වන අර්ධ අවසන් පූර්ව තරගය පහසුවෙන් ජය ගන්නට සමත් විය. ඒ ලකුණු 20 – 05ක් ලෙසිනුයි.

මෙවර අන්තර් පාසල් ප්‍රමුඛ වයස් කාණ්ඩයේ සියලු ගෞරව දිනාගත් කොළඹ ඉසිපතන විද්‍යාලයට, මෙම 16න් පහළ තරගාවලියේ කුසලාන බලාපොරොත්තු රඳවා ගන්නට නොහැකි වූයේ 4 වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හමුවේ ලකුණු 24ක දැවැන්ත පරාජයක් අත්විඳීම හේතුවෙනුයි.

මේ අනුව ශා. පීතර, ත්‍රිත්ව, විද්‍යා සහ රාජකීය විද්‍යාල කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙද්දී, ඉසිපතන, කිංග්ස්වුඩ්, වෙස්ලි සහ ශා. අන්තෝනි විද්‍යාල වලට සිදුවූයේ පළඟ ශූරතාව වෙනුවෙන් තරග වදින්නටයි.

කුසලාන අවසන් පූර්ව තරග දෙකම ඒක පාර්ශවීය සටන් බවට පත්වීම මෙන්ම සමාන ලකුණු පුවරු සටහන් කරමින් අවසන් වීමද කැපී පෙනුනි. පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ශා. පීතර කණ්ඩායම හමුවේ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 17 – 00 ක් ලෙස පරාජය විය. දෙවන අවසන් පූර්ව තරගයේදී රාජකීය ක්‍රීඩකයන්ද ජයග්‍රහණය සඳහා වාර්තා කල ලකුණු සංඛ්‍යාව 17ක්. එහිදී කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකිවූ විද්‍යා විද්‍යාලය කුසලාන බලාපොරොත්තු අත්හැරගන්නා ලදී.

උදෑසන තරග ආරම්භය ප්‍රමාද වීමේ වන්දිය ගෙවන්නට සිදුවුනේ තරගාවලියේ වඩාත්ම වැදගත් තරගය වන කුසලාන අවසන් මහා තරගයට සහභාගී වූ රාජකීය සහ ශා. තෝමස් ක්‍රීඩකයන්ටයි. අනෙක් සියලු තරග අවසන් කිරීමෙන් පසු පස්වරු 6.30ට පමණ මේ අවසන් මහා තරගය ආරම්භ වුනේ ඉතා අයහපත් ආලෝක තත්ත්වයක් යටතේයි. කෙසේවෙතත් තරගයේ ආරම්භයේ සිටම ක්‍රීඩකයන්ට නිසි අයුරින් පන්දුව දර්ශනය නොවීම මේ තරගයේ ගුණාත්මක භාවය ඉතා පහල මට්ටමක පැවතීමට හේතු විය.

තරගය ආරම්භ වී පළමු මිනිත්තු කිහිපය තුලම තරගයේ පාලනය රැඳී තිබුනේ ශාන්ත පීතර විද්‍යාලය සතුවයි. එම පාලනය ලකුණු බවට පත් කර ගන්නට ඔවුන් සමත් වුනේ පළමු අර්ධයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම සමගයි. මේ අනුව පළමු අර්ධය අවසන් වනවිට ඔවුන් ලකුණු 5 – 0 ක් ලෙස පෙරමුණේ පසුවිය.

දෙවන අර්ධය ආරම්භයේදීම තවත් උත්සාහක දිනුමක් ශා. පීතරයන් වෙනුවෙන් වාර්තා වුවත්, වැඩි වේලාවක් තරගය පවත්වා ගෙන යාමට නොහැකි විය. ආලෝක තත්ත්වය ඉතා අයහපත් වීම හේතුවෙන් විනිසුරුවන් පියවර ගත්තේ තරගය අත්හිටුවා තරග ජයග්‍රහණය සහ මයිලෝ කුසලානය ඒ වනවිට පෙරමුණේ පසුවූ ශාන්ත පීතර විද්‍යාලයට පිරිනමන්නටයි.

පළඟ අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී, කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ශා. අන්තෝනි විද්‍යාලය තරග වැදුණු අතර හිටපු ශූරයන් පරදවා ලකුණු 24 -11ක් ලෙස ජයගන්නට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් විය.

පළඟ දෙවන අවසන් පූර්ව තරගයේදී ඉසිපතන සහ වෙස්ලි විදුහල් තරග වැදුණු අතර ඉසිපතන කණ්ඩායමට මේ තරගයේදීත් සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. වෙස්ලි ක්‍රීඩකයන් මේ තරගය ජය ගත්තේ ලකුණු 17 – 00ක් ලෙසිනි.

පළඟ අවසන් තරගය පැවැතියේ කුසලාන අවසන් තරගයට පෙර, දිනයේ දෙවන අවසාන තරගය ලෙසයි. අවසන් මිනිත්තුව දක්වා ලකුණු 12 – 07ක් ලෙස පෙරමුණේ පසුවූයේ වෙස්ලි විද්‍යාලයයි. නමුත් අවසන් මිනිත්තුවේදී කිංග්ස්වුඩ් නායකයාගේ අගනා උත්සාහක දිනුමත්, ඔහු විසින්ම ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමත් සමග තරගය ලකුණු 14 – 12ක් ලෙස ජයගනිමින් පළඟ ශූරතාව කිංග්ස්වුඩ් විද්‍යාලයට හිමි විය.

බඳුන අර්ධ අවසන් පූර්ව තරග වල ප්‍රතිඵල දැක්වූයේ මෙලෙසිනි,

  • CWW කන්නන්ගර 22 – 14 මහනුවර විද්‍යාර්ථ
  • මහනුවර ධර්මරාජ 10 – 07 කොටහේන ශා.බෙනඩික්ට්
  • කොළඹ DS සේනානායක 22 – 00 පිළියන්දල ම.ම.වි.
  • මරදාන ශා. ජෝසප් 10 – 00 කොළඹ සහිරා

බඳුන අවසන් පූර්ව තරග වටයේදී ධර්මරාජ විදුහල ලකුණු 24 – 12ක් ලෙස පරාජය කල ශා. ජෝසප් විද්‍යාලයත්, C. W. W. කන්නන්ගර විද්‍යාලය ලකුණු 10 – 05 ලෙස පරාජය කළ DS සේනානායක විද්‍යාලයත් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. වයස අවුරුදු 18න් පහල කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශා. ජෝසප් කණ්ඩායම බඳුන ශූරතාව දිනා ගත්තේ DS කණ්ඩායම ලකුණු 19 – 00 ක් ලෙස පරාජය කරමිනුයි.

කොළඹ තර්ස්ටන්, ආනන්ද, නාලන්ද සහ මහනුවර ශා. සිල්වෙස්ටර් විදුහල් පලිහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ පිලිවෙලින් කුරුණෑගල මලියදේව, පානදුර රාජකීය, කොළඹ මහානාම සහ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාල 4ට එකදු ජයග්‍රහනයක් හෝ ලබා ගැනීමේ අවසන් අවස්ථාවද අහිමි කරමිනි.

තර්ස්ටන් විද්‍යාලය ලකුණු 20 – 00 ක් ලෙසත්, ශා. සිල්වෙස්ටර් විදුහල ලකුණු 17 – 05ක් ලෙසත් පරාජය කල ආනන්ද සහ නාලන්ද විදුහල්, සාම්ප්‍රදායික ප්‍රතිවාදීන්ගේ අවසන් තරගයක් නිර්මාණය කර ගැනීමට සමත් විය. එහිදී ආනන්ද ක්‍රීඩකයින් පලිහ ශූරතාවට හිමිකම් කීවේ අවසන් තරගය ලකුණු 20 – 00 ක් ලෙස ජය ගනිමිනුයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට