ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අමතර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමේ සැලසුමක්

28
India vs Sri Lanka

එළඹෙන අගෝස්තු මාසයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් පැවැත්වීමට BCCI සමඟ ඉල්ලීම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කරනවා.

2026 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා කාර්ය බහුල තරග කාලසටහනක් නිර්මාණය කර තිබෙනවා.

මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වල දී පාකිස්තානය සහ එංගලන්තය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. මෙහි දී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිත අතර, එංගලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් පැවැත්වීමට නියමිතයි.

ඉන් පසුව පෙබරවාරි සහ මාර්තු මාසවල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇති.

මින් අනතුරුව මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ සංචාරය කිරීමට නියමිත අතර, එහි දී ද එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් පැවැත්වෙනු ඇති අතර, ඒත් සමඟම 2026 IPL තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

එළඹෙන ජුනි සහ ජුලි මාසවල දී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරය කිරීමට නියමිත අතර, එහි දී ටෙස්ට් තරග 2ක් මෙන්ම, එක්දින තරග සහ විස්සයි විස්ස තරග 03 බැගින් පැවැත්වීමට නියමිතයි.

මින් අනතුරුව ජුලි සහ අගෝස්තු මාසවල දී 2026 LPL තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, මින් අනතුරුව අගෝස්තු මාසයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, එහි දී ටෙස්ට් තරග 2ක් පමණක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

නමුත් මෙම තරගාවලියට ම විස්සයි විස්ස තරග 3ක් ද ඇතුළත් කිරීමට ඉල්ලීම් කර ඇති බවයි ශම්මි සිල්වා මහතා විසින් සඳහන් කරන්නේ.

මින් අනතුරුව ශ්‍රී ලංකාව එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, එහි දී විස්සයි විස්ස සහ එක්දින තරග තුන බැගින් පැවැත්වෙනු ඇති.

ඉන් පසුව ශ්‍රී ලංකාව පාකිස්තානයේ දීර්ඝ තරග සංචාරයකට සහභාගී වීමට නියමිත අතර, මෙහි දී පළමුව පාකිස්තානය සමඟ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිත අතර, ඉන් පසුව එංගලන්තය සහ පාකිස්තානය සමඟ තුන් කොන් එක්දින තරගාවලියකට සහභාගී වීමට නියමිතයි.

ඉන් පසුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මින් අනතුරුව වසර අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර, එහි දී විස්සයි විස්ස සහ එක්දින තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<