සොලමන්ස්, ගමිඳු හා මනෝජ් ශතක අතරට

1156

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ තරග අද (8) ආරම්භ විය. අද දිනය තුල ඇන්ඩි සොලමන්ස් කැපී පෙනෙන දස්කම් අතරට පිවිසියේ සුපිරි පිතිකරණයක නිරත වෙමිනි.

“මහේල-අරවින්ද-සංගාගේ සැලැස්ම ක්‍රිකට් බේරා ගනීවි” – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් තිදෙනෙක් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා විසින් සකස් කළ සැලැස්ම, ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් පිටියේ තත්වය…

සැරසන්ස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සැරසන්ස් කණ්ඩායම මුවර්ස් පිටියේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී සැරසන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරය තුලම දැවී ගිය පසුව පිටියට පැමිණි දකුණත් පිතිකරුවන් යුගලයක් වන ඇන්ඩි සොලමන්ස් හා ගමිඳු කනිශ්ක අතරේ දෙවන කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවයක් ගොඩනැංවිය. එහි දී වේගවත් පිතිකරණයක නිරත වූ සොලමන්ස් 4 පහර 20ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 152ක් ලබා ගත්තේය.

ඔහුට සවියක් වූ ගමිඳු 4 පහර 10ක් සමඟින් ලකුණු 108ක් ලබා සිටිය දී දැවී ගියේය. ඔවුන්ගේ පිලේ අවසන් කඩුලු  කිහිපය ඉක්මනින්ම දවා ගැනීමට මුවර්ස් කණ්ඩායමට හැකි විය. තරගයේ පළමු දිනය අවසානයේ සැරසන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 369ක් ලබා ගත්තේය. ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4යි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 369/7 (89.5): ඇන්ඩි සොල්මන්ස් 152, ගමිඳු කනිශ්ක 108, ශිරාන් ප්‍රනාන්දු 4/86.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

කොල්ට්ස් පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය අවසානයේ කෝල්ට්ස් පළමු ඉනිම 201කට කඩුලු 5ක් ලෙස දැක්විය.

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි කෝල්ට්ස් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා හා සංගීත් කුරේ අතරේ ලකුණු 87ක සබඳතාවයක් ගොඩනැංවූණු අතර, නායක දිල්රුවන් 4 පහර 3ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 60ක් වාර්තා කළේය.

සංගීත් කුරේ ලකුණු 37කට දැවී ගිය පසුව යොවුන් ක්‍රීඩක හශාන් දුමිඳු තරගයේ පළමු දිනය අවසන් වන විට 4 පහර 7ක්  සමඟින් නොදැවී ලකුණු 61*යි. පන්දු යැවීමේ දී මලිත් ද සිල්වා කඩුලු 2යි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 201/5 (90): හශාන් දුමිඳු 61*, දිල්රුවන් පෙරේරා 60, සංගීත් කුරේ 37, මලිත් ද සිල්වා 2/53.

එන්. සී. සී  හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

B කාණ්ඩයේ තරගයක් ලෙස එන්. සී. සී පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ, හලාවත මේරියන්ස් කාසියේ වාසිය ජයග්‍රහණය කර සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 206ක් ලබා ගන්නා ලදි.

එහි දී කසුන් විදුර අර්ධ ශතකයක් රැස් කළ අතර රුක්ශාන් ප්‍රනාන්දු හා සචිත්‍ර සේරසිංහ පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5යි.

හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලකුණු 206ට පිළිතුරු ලෙස එන්. සී. සී කණ්ඩායමට අද දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි. එහි දී මහේල උඩවත්ත ලකුණු 46ක් රැස්කර ගන්නා විට, හසිත ප්‍රනාන්දු හා සචිත්‍ර කඩුලු 3ක් බැගින් දවා ගත්හ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 206/10 (53): කසුන් විදුර 50, රුක්ශාන් ප්‍රනාන්දු 37, සචිත්‍ර සේරසිංහ 26, ලසිත් ඇඹුල්දෙණිය 5/66, ඇන්ජලෝ පෙරේරා 2/34.

එන්. සී. සී පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 114/9 (37): මහේල උඩවත්ත 46, ලහිරු උදාර 24, හසිත ප්‍රනාන්දු 3/30, සචිත්‍ර සේරසිංහ 3/21, මාලින්ද පුෂ්පකුමාර 2/27.


බී. ආර්. සී හා ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ වරාය ක්‍රීඩක ගිහාන් රූපසිංහ බී. ආර්. සී පිටියේ පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. වරාය අධිකාරිය පළමු දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 75යි.

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී බී. ආර්. සී පිලේ පළමු කඩුලු 7 ලකුණු 67ක් තුල බිඳ වැටුණු අතර, අනතුරුව පිටියට පිවිසි විකුම් සංජය හා සුරාජ් රන්දිව් 8 වන කඩුල්ල සඳහා ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

අසේල සහ කුසල් ජනිත් පැමිණීම ගැන නව නායකයා සතුටින්

ආබාධවලට ලක්ව සිට නැවත කණ්ඩායම සමඟ එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න ගේ ආගමනය, ඉන්දියාව සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය…

එහි දී වේගවත් පිතිකරණයක නිරත වූ විකුම් පන්දු 34ක් තුල ලකුණු 51ක් රැස්කර ගත්තේ 4 පහර 5ක් හා 6 පහර 4ක් සමඟිනි. ඔහුට සවියක් වූ රන්දිව් ලකුණු 18ක් ලබා ගන්නා ලදි. 10 වන කඩුල්ල සඳහා හශේන් රාමනායක හා චාමිකර එදිරිසිංහ අතරේ ලකුණු 55ක සබඳතාවයක් ගොඩනැංවූනි.

අවසානයේ බී. ආර් .සී පළමු ඉනිම ලකුණු 187කට සීමා කිරීමට චානක කොමසාරු හා මදුක ලියනපතිරණගේ ඇතුළු වරාය අධිකාරි පන්දු යවන්නන් සමත් විය. ඔවුන් දෙදෙනා අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

බී. ආර්. සී පළමු ඉනිම – 187/10 (65.5): විකුම් සංජය 51, චාමිකර එදිරිසිංහ 24, චානක කොමසාරු 3/40, මදුක ලියනපතිරණගේ 3/41.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 75/2 (24): යොහාන් ද සිල්වා 38*, යශෝද ලංකා 26,  තිලකරත්න සම්පත් 1/7, චාමිකර එදිරිසිංහ 1/9.


බදුරලිය ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී බදුරලිය ක්‍රිකට් සමාජයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වූ මෙම තරගය B කාණ්ඩයේ තරගයක් ලෙසින් ආරම්භ විය.

ලකුණු 40කට කඩුලු 3ක් දැවී තිබිය දී ටැමිල් යූනියන් වෙනුවෙන් පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස් හා සිතිර ගිම්හාන් අතරේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 95ක සබඳතාවයක් ගොඩනැංවිය. එහි දී 4 පහර 8ක් සමඟින් ලකුණු 77ක් ලබා ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් විය.

ගිම්හාන් 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 43කට දැවී ගියේ අලංකාර අසංකගේ පන්දුවකටයි. ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමින් දක්ෂ පිතිකරණයක නිරත වූ කඩුලු රකින දකුණත් පිතිකරුවෙක් වන මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 113*ක් ලබාගෙන දිනය අවසන් වන තුරු ක්‍රීඩා පිටියේ රැඳී සිටින ලදි. අලංකාර අසංක පන්දු යැවීමේ දී කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 325/9 (90): මනෝජ් සරත්චන්ද්‍ර 113*, ජීවන් මෙන්ඩිස් 77, සිතිර ගිම්හාන් 43, අලංකාර අසංක 5/37.

එස්. එස්. සී හා රාගම ක්‍රිකට් සමාජය

කුරුණෑගල වෙළගෙදර පිටියේ A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගයේ දී එකදු පන්දු වාරයක් හෝ ක්‍රියාත්මක නොවීය. ඒ ක්‍රීඩා පිටියේ තණතිල්ල තෙත බරිත ස්වභාවයක් ඉසිලීම නිසාවෙනි.

මෙම තරග සියල්ලම හෙට (9) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<