අම්මා සඳකි, මගෙ ලෝකය එළිය කෙරූ

520
2021 Mothers day tribute

පෙර පුරාණ ග්‍රීසිය සහ රෝම ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද වූ සංස්කෘතීන් අතර මව්වරුන්ගේ දිනය ද වෙති. මේ වන විට රටවල් 50කට අධික සංඛ්‍යාවක පැවතෙන මේ සැමරුම මෙරටට එන්නත් කෙරෙනු ලැබෙන්නේ යුරෝපීය ශිෂ්ඨාචාරයක් ලෙසිනි. 

කෙලෙසකින් මේ සංස්කෘතිය මෙරටට පිවිසියත් මවකගේ අගය එක් දිනකට පමණක් සීමා කළ හැකි ද යන ප්‍රශ්නයේ අප වෙළෙමු. විශේෂයෙන්ම ඊට දී ඇති වෙළෙඳ වටිනාකම එහි රුව ගුණ බාල කරනු ඇත. එහෙත් එහි ඉහළට ගලා බැසීමක් නැත. 

මෙවර මව්වරුන්ගේ දිනය අදට (09) යෙදී ඇති අතර මේ තත්ත්වය යටතේ වුව මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ දිවියට මවකගෙන් වූ බලපෑම ගැන විමසීමට අප උත්සුක වූවෙමු. මේ ඒ ගැන සටහනයි.

අම්මටත් තාත්තටත් අම්ම ම තමයි

  • ප්‍රවීන් ජයවික්‍රම

“තාත්තා නැති වෙද්දී අපි හතර දෙනාම පාසල් යනවා. අම්මට විශාල වෙහෙසක් දරන්න සිදු වුනා අපිව උස් මහත් කරන්න. අපි පාසල් යනවට අමතරව අයියලා, මල්ලිලා අපි ඔක්කෝම ක්‍රිකට් පුහුණුවීම්වලට යනවා. පාසල් කටයුතුවලට අමතරව පෞද්ගලික උපකාරක පංතිවලටත් සහභාගි වෙනවා. අම්ම මේ සියල්ලටම අපව යොමු කරන ගමන් ඩ්‍රයිවින් ස්කුල් එකේ වැඩ ටිකත් කළා. ඒ වගේ ම ගෙදර වැඩ කටයුතුත් කළා. ඒක හරි දුෂ්කර කටයුත්තක්. අඩුම තරමින් ගෙදර වැඩවලට හෝ අපෙන් අම්මට එතරම් ම උදව්වක් තිබුණෙ නෑ. අම්මා, තාත්තගෙන් ඉටු විය යුතු වැඩත් කරමින් අපව උස් මහත් කළා. අම්මා කවදාවත් අපිට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ. අපිට අම්මටත් තාත්තටත් අම්ම ම තමයි” සිය මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 178කට කඩුලු 11ක් දවා ගනිමින් ශ්‍රී ලාංකිකයෙක් තම මංගල ටෙස්ට් තරගයක දී දැක්වූ ඉහළම දක්ෂතාව වාර්තා කළ 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම පැවසුවේය. 

Praveen Jayawickramaප්‍රවීන්ගේ පියා ඉන්ද්‍රජිත් ජයවික්‍රම මහතා, මීට අවුරුදු 7කට පමණ ඉහත දී හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ජීවිතෙන් සමුගත්තේය. පියා මියගිය පසු පවුලේ බර කරට ගන්නේ මව, නිමාලි පීරිස් මහත්මියයි. මේ වන විට ඇය 51 වැනි වියේ පසු වෙන්නී ය. 

“අම්මට ඒ දවස්වල ක්‍රිකට් ගැන එතරම් ම දැනුමත් තිබුණෙ නැහැ. නමුත් අම්ම කවදාවත් ක්‍රිකට් අතහැරලා අයියයි, මල්ලිලයි වගේ ඉගෙනීමටම යොමු වෙන්න කියලා මට බල කළෙත් නැහැ. මගේ උවමනාවටම තමයි ක්‍රිකට් ගැහුවෙ. මට මතකයි එකම එක අවස්ථාවක දී අම්මා මගේ ක්‍රිකට් ගමනට බාධාවක් කළා. ඒ කළුතර සිරි කුරුසෙ ඉන්දැද්දි මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණා එම විද්‍යාලය සමඟ එක්ව ක්‍රීඩා කරන්න එන්න කියලා. 

ඇත්තටම ඒ ආරාධනාව මට ලැබුණ ලොකු චාන්ස් එකක්. නමුත් අම්මා ඒකට කැමති වුනේ නැහැ. මම කොච්චර උත්සාහ කළත් අම්මගෙ තීරණයේ වෙනසක් තිබුණෙ නැහැ. ඒ ගැන මට ලොකු දුකක්, කනගාටුවක් දැනුණා. අම්ම‍ා ඒක දැනගන්න ඇති. අම්මා කිවුවේ අතරමගදි සිරි කුරුසෙ අත හැරල යන්න ඕන නැහැ, සාමාන්‍ය පෙළ පාස් වෙලා මොරටුවට යන්න කියල. ඒ නිසා ගමන ටිකක් පමා වුනා. අවසානයේ මම අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනතුරු සිරිකුරුසෙ හිටියා. ඊට පස්සේ උසස් පෙළ කරන්න අම්මගෙ ආශිර්වාදයත් එක්ක සෙබස්තියන් එකට ආවා. මම හිතන්නේ අම්ම ඒ ගත්ත තීරණය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ.”

>> දඟපන්දුවෙන් ප්‍රවීණයෙක් වීමට උත්සාහ කරන “ප්‍රවීන්”

මගේ හැම දෙයක්ම අම්මා තමයි

  • තිලකා ජිනදාස  

“මට මගේ හැමදෙයක් ම අම්මා තමයි. තනිකඩව ඉන්න මගේ ලෝකයට ඒ තනිකම, පාළුව, කාංසිය මකන්නේ අම්මා. අදටත් මට දරාගන්න බැරි දේක දී අම්මගෙ උපදෙස් තමයි වටින්නේ. ඇය ඒ තරමටම මගේ ජීවිතය හා බද්ධයි” මලල ක්‍රීඩිකාවක්, දැල්පන්දු ක්‍රීඩිකාවක් සහ පුහුණුකාරිනියක් ලෙසින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබුණ තිලකා ජිනදාස තම මෑණියන් සිහිපත් කළේ එලෙසිනි. 

තිලකාගේ මෑණියන් විමලා ජිනදාස මහත්මියයි. ඇය මේ වන විට 93 වැනි වියේ පසු වන්නීය. 

“අපි පවුලෙ මමත් සමඟ පස් දෙනෙක්. වැඩිමල්ම අක්කා, ඊට පස්සේ අයියා, ආයිමත් අක්කා, අක්කට පස්සෙ මම, පවුලේ බාලයා නංගි. තාත්තා ක්‍රීඩාවට ගොඩක් කැමතියි. ක්‍රීඩාවට යොමු වුනා නම් යොමු වුනේ තාත්තගෙ පුරුද්ද නිසා වෙන්න ඇති. මුලින්ම පවුලෙන් ක්‍රීඩාවට යොමු වෙන්නේ ලොකු අක්කා. එයාට ඉස්කෝලෙන් ලොකු පිළිගැනීමක් තිබුණා. මේ නිසා මටත් ඕන වුනා ක්‍රීඩා කරන්න. ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැහැ. අක්කට තනියටත් එක්ක හොඳයි කියල මාවත් ක්‍රීඩාවට දැම්මෙ අම්මා.”

අම්මා තමයි ගෙදර ඉඳන් හයියක් වුනේ. තාත්තා තමයි පිටත දී යද්දී හයියක් වුනේ. තාත්තා නැති වුන දා ඉඳලා අම්මා තාත්තගෙ ශක්තියත් අරගෙන අපිව පෝෂණය කළා. ක්‍රීඩිකාවක් ලෙසින් සිටිය දී අම්මා මගේ තනි නොතනියට හිටියා මිසක් කිසිදු උපදෙසක් දෙන්න ආවෙ නැහැ. මම තරගයකට ගියහම අම්මා බෝධි පූජා පවත්වමින් මට ආශීර්වාද කරන්න අමතක කරන්නේ නැහැ කියලා අක්කලා කියල තියෙනවා. පරාජයක දී වුනත් ඒක උපේක්ෂාවෙන් විඳ ගන්න හැටි ඉගැන්නුවෙ අම්මා. 

Thilaka Jinadasaමම පුහුණුකාරිනියක් වූ පසුව විශාල ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ මුහුණ දුන් ප්‍රශ්නවල දී අම්මා තමයි මාව ඒ තැන්වලින් මුදව ගන්න උපදෙස් දුන්නේ. අම්මා විශ්වාස කළා හැම දෙයක්ම හොඳට වේවි කියලා. ඒ විශ්වාසය අදටත් අම්මා තුළ තියෙනවා. අම්මා කියන්නේ අපි කාටවත් කරදරයක් කළේ නැත්නම් අපිට කරදරයක් වෙන්නෙ නැහැ කියලයි. අපි ක්‍රීඩිකාවන් ලෙස සමහර අවස්ථාවල ඉක්මන් තීරණවලට යනවා. නමුත් මාව ඒ තත්ත්වයන්ගෙන් මුදවා ගත්තේ අම්මා. අම්මගෙ ඒ නිවිච්ච ගතිගුණ ගැන මට අදටත් පුදුම හිතෙනවා. මොනම අවස්ථාවකදීවත් කේන්ති ගන්නෙ නැහැ. 

අම්මගෙ උපන් දිනය යෙදී තිබෙන්නේ මේ මාසෙ 11 වැනිදට. ඒ නිසා කොහොමටත් මව්වරුන්ගේ දිනය වැදගත් වෙනවා. මොකද ඒකත් එක්ක ම අම්මගේ උපන් දිනයත් සමරන්න මට හැකි නිසා.”

>> මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් ගොස් දැල්පන්දුවට ජීවිතය කැප කරන දිරිය කත

අම්ම මට ලබා දුන් දේවල් මමත් මගේ දරුවන්ට ලබා දෙනවා

  • ඉනෝකා හිමාලි රත්නවීර  

“පාසල් කාලයේ ඉගෙනීමට අමතරව විෂය බාහිර දේවල් සඳහා ද සහභාගී වීමේ වැදගත්කම මුලින්ම කියලා දුන්නේ අම්මා. ඒ වෙනුවෙන් ඇය අපිට උපරිම නිදහස ලබා දුන්නා. අපි ක්‍රීඩාවට යොමු කළා. පාසල් යද්දී, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී වගේම රස්සාව කරද්දිත් අම්මගෙ සෙවණැල්ල මා වටා තිබුණා. අදටත් මගේ ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේ දී අම්මගෙ උපදෙස් තමයි අංක එකට ගන්නෙ. අම්මා මට ලබා දුන් නිදහස ම මම මගේ දරුවන්ටත් ලබා දෙනවා. මොකද මම දන්නවා මට මගේ අම්මගෙන් ලැබූ ගුරුහුරුකම් තමයි ලංකාවේ අංක එක වෙන්න උදව් වුනේ. ඒව මගේ දරුවන්ට පමණක් නොවෙයි, දරුවන්ගෙ දරුවන්ටත් වලංගුයි” 2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරිනිය ලෙසින් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ඉනෝකා හිමාලි රත්නවීර පැවසුවා ය. 

හිමාලි මව කරුණා ද සිල්වා මහත්මියයි. ඇය මේ වන විට 71 වැනි වියේ පසුවන්නී ය. 

“අපේ පවුලේ කෙල්ලො ම හතර දෙනෙක්. අම්මත් මමත් අතර අවුරුදු 24ක පරතරයක් තියෙන්නෙ. මේ නිසා අපි යාළුවො වගේ තමයි කටයුතු කළේ. පාසල් යන විට අම්මත් තරුණයි. අම්මත් අපිත් එක්ක සෙල්ලම් කළා. වැඩි හරියක් නෙට්බෝල් තමයි ගැහුවේ. 

අම්ම මාව තරගවලට යොමු කළා. ධෛර්යමත් කළා. මම ඉගෙන ගත්තෙ මිශ්‍ර පාසලක. පාසල් වයසේ දී පිරිමි ළමුන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක කියල දුන්නේ අම්මා. අපි හවස් වෙනකම් පාසලේ පුහුණුවීම්වල යෙදුණා. කවදාවත් ඒවට තහංචි පැනෙව්වෙ නැහැ. පුහුණුවීම්වලට යද්දී අම්මා දවල්ට කන්න ලොකු බත්මුලක් බැඳලා දෙනවා. ඒක කන්න ගුරුවරු, පිරිමි ළමයි පවා අපිත් එක්ක එකතු වුනා. අම්මා අපිට සමාජය ගැන කියල දුන්නේ ඒ වගේ පුංචි පුංචි දේවල් එක්ක. 

Inoka Himali Ratnaweeraඅම්මාට වැඩි දුර ඉගෙන ගන්න ලැබෙන්නෙ නැහැ. පවුලේ එක ම දරුවා නිසා සීයා කැමති වෙලා නැහැ අම්මට වැඩි දුර ඉගෙන ගන්න යවන්න. ඒත් විදුහල්පතිතුමා අම්මගෙ නම අවුරුද්දක් යනකම්ම නාම ලේඛනයෙන් අයින් කරල නැහැ. අම්මා හැමදාම කියන එකක් තමයි 8 පංතිය වෙනකම් හරි යන්න දුන්නා නම් ගුරුවරියක් වෙන්න තිබුණා කියලා. එහෙම වුනා නම් ඇය ආදර්ශමත් ගුරුවරියක් ලෙසින් රටට වැඩදායක ගෝලයන් පිරිසක් බිහි කරන්න තිබුණා. 

අම්මා, අම්මගෙ අම්මා, තාත්තා යටතේ නීති රිති මත ජීවත් වුනත් අපිට කවදාවත් කිසිම දේක තහංචි පනවල නැහැ. හොඳ නරක ඉතාම අපූරුවට කියල දුන්නා. හැම දෙයක් ම හරියට ඉලක්කයට කරන්න හුරු කළා. කුස්සියේ වැඩ වුනත් මට 4 පංතියේ දී කරන්න පුළුවන්.

මමත් මගේ දරුවන්ට පොඩි කාලේ සිටම අම්මා මට කියල දුන් දේවල් කියල දෙනවා. මම ජපානයට යන විට මගේ දරුවන් පුංචියි. මට ඒක ලොකු අභියෝගයක් වුනා. අපරාදේ ළමුන්ගේ අධ්‍යාපනය කියල බොහෝ දෙනෙක් කිවුවා. මම ලොකු ප්‍රශ්නයක හිටියේ. අම්ම තමයි එතැන දී මට හරිම උත්තරය දුන්නේ. අම්ම කිවුවා, දරුවන්ට ඔය අත්දැකීම මෙහේ ඉඳලා කවදාවත් ගන්න බැහැ ඒ නිසා එක්ක යන්න කියලා. ඒක ඉතාම හොඳ තීරණයක් වුනා.

මගේ ළමුන් ජපානෙ දී පිහිනුම්, පාපන්දු, ටෙනිස් වගේ ක්‍රීඩාවලට යොමු කළා. ඔවුන් දැන් ඉතා හොඳින් ඒ ක්‍රීඩාවන් ප්‍රගුණ කරමින් ඉන්නවා. ඒ වගේම ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුත් කරනවා. ඔවුන්ව ඒ තැන්වලට යොමු කරන්න මට පන්නරය ලැබුණෙ මගේ අම්මා නිසා.  

අම්මා හැම තිස්සේ මාව ධෛර්යමත් කරනවා. මම මානසිකව වැටිල ඉන්නවා නම් ඒක හරි ලස්සනට මැනේජ් කරනවා. මම විශ්වාස කරනවා, මම අද ලබා ගත් ජයග්‍රහණ පිටුපස ඉන්න යෝධ ශක්තිය මගේ අම්මා කියලා. ඒ නිසා මම බය නැතිව මගේ දරුවන්ටත් ඒ මඟ ම කියල දෙනවා.“

>> සුපිළිපන් සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩිකාව “ඉනෝකා”

ක්‍රීඩාවට වූ තාත්තගෙ අකමැත්ත නැති කළේ අම්මා

  • රුක්ෂානි ආරියරත්න 

“මම කුඩා අවදියේ ම ක්‍රීඩාවට යොමු වූ කෙනෙක්. මේ නිසා ගෙදරට වඩා වැඩි හරියක් හිටියේ ක්‍රීඩා පිට්ටනිවල. මේ නිසා ගෙදර යද්දී පරක්කු වෙනවා. මොන වෙලාව බැලුවත් මම ගෙදර නැහැ. මේකට තාත්ත එච්චර කැමති වුනේ නැහැ. ඔය අතර රගර් ගහන්න ගත්තහම තත්ත්වය තවත් උග්‍ර වුනා. කෙල්ලොන්ට හරි යන ක්‍රීඩාවක් නෙමේ කියලයි කිව්වේ. අම්ම තමයි ඉදිරිපත් වෙලා තාත්තට තේරුම් කරල දීල මට ක්‍රීඩා කරන්න අවසර අරගෙන දුන්නේ”  ශ්‍රී ලංකාවේ පළමු සත්සාමාජික රග්බි කාන්තා නායිකාව, පළමු කාන්තා රග්බි විනිසුරුවරිය සහ පළමු ජාත්‍යන්තර රග්බි විනිසුරුවරිය ලෙසින් ශ්‍රී ලාංකීය ඉතිහාසයට එක් වූ රුක්ෂානි ආරියසේන පැවසුවා ය. 

Rukshani Ariyaratneරුක්ෂානිගේ මව ඉන්ද්‍රා කළුආරච්චි මහත්මියයි. මේ වන විට 64 වැනි වියේ පසුවෙන ඇය රුක්ෂානිගේ රැකවරණය මත ඇයගේ නිවසේ පදිංචිව සිටි.

“අම්මා තමයි මගේ ක්‍රීඩා දක්ෂතා ගැන හඳුනා ගත් පළමු තැනැත්තා. තාත්තා සුළු වෙළෙන්දෙක් ලෙස කටයුතු කළේ. මේ නිසා අපි ආර්ථික අතින් බොහොම පහත් තත්ත්වයක හිටියේ. අපේ පවුලේ මට බාල නංගිලා තුන් දෙනෙක්. පවුලේ වැඩිමලා ලෙස මටත් විශාල වගකීමක් පැවරුණා. මොන දේ තිබුනත් මම ක්‍රීඩාව අතහැරියෙ නැහැ.

අම්මාත් තාත්තාත් ගොඩාක් මහන්සි වුණා, අපි හතර දෙනා උස් මහත් කරන්න. පවුලේ හතර දෙනෙක් නිසා අම්මාගෙ වැඩකටයුතු නිවෙසටත්, ගෙවතු පාලනයටත් අපි ගැන සොයා බැලීමටත් පමණක් සීමා වුනා. තාත්තාගෙ සුළු රැකියාව තමයි අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ. ඒ ලැබෙන මුදල අම්මා ඉතාම අරපරිස්සමින් වියදම් කළා. තාත්තා දැනට අවුරුදු දෙකකට විතර ඉහත දී මිය ගියා. දැනටත් තාත්තාගෙ අඩුව කොච්චරවත් දැනෙනවා. ඒක යම්තම් දුරකට දුරස් වෙන්නෙ අම්මා නිසා. දැන් මට අම්මටත් තාත්තටත් ඉන්නේ අම්ම විතරයි. අම්ම තමයි මගේ පණ.” 

දරුවෙක්ට අම්මා ඇරෙන්න වෙනත් කෙනෙක් නෑ

  • දමයන්ති දර්ශා

“පොඩි කාලේ ඉඳලම අම්මා තමයි මමත් එක්ක පිටිපස්සෙන් හිටියේ. තාත්තා රට හිටියේ. මේ නිසා පානදුරේ සිට පුහුණුවිම්වලට පවා ආව-ගියේ අම්මත් එක්ක. ඒ පුරුද්ද ම ද මංදා අම්මා දැන් මගේ දරුවනුත් එක්කත් මාව ගෙන ගියා වගේ එක්ක යනවා. මගේ අම්මා වගේම හැම අම්මා කෙනෙක්ම එහෙම වෙන්න ඇති. දරුවෙක්ට අම්මා ඇරෙන්න වෙනත් කවුද ඉන්නේ?” ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ හොඳම කෙටි දුර ධාවන ශූරියන් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන ආසියානු ශූරතා වාර්තාලාභිනියක් වන, වත්මන් මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරියක් ද වන දමයන්ති දර්ශා පැවසූවා ය. 

දර්ශාගේ මව ශ්‍රියාලතා කලංසූරිය මහත්මියයි. මේ වන විට ඇය 68 වැනි වියේ පසුවෙන්නී ය. 

“තාත්තා ගෙදර නැති නිසා අම්ම ගොඩක් කාර්ය බහුලයි. ඒ වුනත් කවදාවත් මාව පුහුණුවීම්වලට, තරගවලට එක්කගෙන යෑම මඟ හැරියෙ නෑ. ඒ වගේ ම මගේ අධ්‍යාපනය කටයුතු ගැනත් ඇය හොයා බැලුවා. ඒවට උනන්දු කළා. 

Damayanthi Darshaමගේ අම්මා නිතර කතා කරන සහ කැපී පෙනෙන්න වැඩ කරපු කෙනෙක් නෙමේ. මගේ ජයග්‍රහණයක දී වගේ ම පරාජයකදීත් නිහතමානිව සතුටු වුනා. ඇය සතු ඒ ගුණය අදටත් නොනැසී පවතිනවා. ඇය මාත් එක්ක ගොඩක් කතා කරන්නේ තරගයක් පරාජය වුනහමයි. ඒ වෙලාවට ඇය මටත් වඩා දුක් වුන බව මම දන්නවා. නමුත් අම්මා ඒක පෙන්නුවේ නැහැ. මේ නිසා මමත් ඒක තවත් එක් තරගයක් පමණයි කියල හිත හදා ගන්නවා. අම්මට පේන්න දුක් වුනේ නැහැ. 

මමත් දැන් දරුවන් තුන් දෙනෙක්ගේ මවක්. අම්මට වඩා මම කාර්ය බහුලයි. මගේ මහත්තයත් එහෙමයි. ඒ නිසා ගෙදර බොහෝ දේවල් සිදු වෙන්නේ අම්මගෙ අතින්. මගේ ලොකු දුව සහ ලොකු පුතා ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නේ අම්මා නිසා. අම්මා තමයි තුන් දෙනාව ම බලා ගන්නේ. ඒක මට ලොකු හයියක්. 

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<