ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයින් කාම්බෝජ පාපන්දු කණ්ඩායම සමඟ පැවැත්වෙන සුහද තරගාවලියක් සඳහා කාම්බෝජය බලා පිටත්විය. දින පහක් පුරාවට මෙම සුහද පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිත අතර මාස 10කට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර සුහද පාපන්දු තරගාවලිය ලෙස මෙය හැඳින්විය හැකිය. තරගාවලියට අමතරව දෙපිලම පුහුණු සැසි ද්විත්වයකට සහභාගී වීමටද නියමිතයි.

පසුගිය ලිපි: ගෝල දඩයමකින් පසු සහිරා විද්‍යාලය අවසන් පූර්ව වටයට

අප පසුගිය ජූනි මාසයේ සිට පුහුණු වීම් කටයුතු ආරම්භ කළා.මේ වෙද්දී මාස හතරක් පමණ අප එක දිගට පුහුණුවීම් වල යෙදුනා. ඒ කාලය ඇතුලතදී ශූරයන්ගේ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සදහා පමණක් අපි සමහර ක්‍රීඩකයන්ගේ පුහුණු කාලයේදී අවස්ථාව ලබා දුන්නා. සතිඅන්තයේ ඒ තරග පැවැත්වුන නිසා දින 3ක් පමණයි අපිට වැය කරන්න වුණේ සුපර් 8 තරගවලට. ඊට පස්සේ මාසෙකට කලින් අපි සම්පූර්ණයෙන්ම පුහුණු කටයුතු ආරම්භ කළා.” යැයි අප සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ඩඩ්ලි ස්ටේයිවල් මහතා පැවසුවා.

අපේ කණ්ඩායම මනා තරගාවලි මානසිකත්වයකින් කණ්ඩායමක් විදියට සූදානමකින් පසුවෙනවා. මගේ ඉලක්කගත බලාපොරොත්තුවක් වුන ඥානරූබන් විනෝත් ආබාධයකට ලක් වෙච්ච නිසා මේ තරගාවලිය ඔහුට අහිමි වෙනවා.”යැයි එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම තුළ වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දැකගත හැකි ඇති අතර සංක දනුශ්ක, දුමිදු හෙට්ටිආරච්චි, බණ්ඩාර වරකාගොඩ, චතුරංග සංජීව හා නිපුන බණ්ඩාර එම ක්‍රීඩකයින් වේ.

තවද කණ්ඩායමට වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුලත් අතර අෆාම් අර්කම්, ඩිලිප් පීරිස් හා දනුශ්ක මදුසංක එම ක්‍රීඩකයින් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ගෝල ලබාගන්නා වූ ඥානරූබන් ව්නෝත් වෙනුවට ඩිලිප් පීරිස් සංචිතයට ඇතුලත් කර ඇත.

කණ්ඩායම බාරගන්නාකොට කණ්ඩායම නැවතත් සකස් කරන්නට මට සිදුවුණා.කණ්ඩායම තුල කරන්න අවශ්‍ය වැඩ රාශියක් මන් දැක්කා. ශ්‍රී ලංකාව තුළ පවතින සමාජ පාපන්දු තරගාවලිය වුවත් හරියාකාරව පැවැත්වෙන්නේ නැහැ.ක්‍රීඩකයින් දන්නේ නැහැ ක්‍රීඩා කළ යුතු පිළිවෙලවත්. ඒ තවමත් ශ්‍රී ලංකාව තුල පාපන්දු ක්‍රීඩාව හොඳ අදියරක නොමැති නිසයි. මං කණ්ඩායම බිම් මට්ටමේ ඉඳලම හදන්න ගත්තා. ජාතික කණ්ඩායමකදී මේවා කල යුතු දේවල් නෙවෙයි.ඒත් මූලික පදනමක් කණ්ඩායමට අවශ්‍යයි.” කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ස්ටේයිවල් මහතා කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

තවදුරටත් අදහස් පල කල ඔහු ප්‍රකාශ කර සිටියේ “ලංකාවේදී අප සුහද තරග කිහිපයකට සහභාගී වූවත් මාස 10කින් පසුව සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙයයි”.

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ සුජාන් පෙරේරා මෙවර කණ්ඩායමට නායකත්වය දෙනුලබනවා.සුජාන් මාලදිවයිනේ ඊගල්ස් පාපන්දු සමාජයේ ක්‍රීඩකයෙකු ලෙසත් කටයුතු කරන ක්‍රීඩකයෙකි.

මාලදිවයිනේ ක්‍රීඩා සමාජයට මම ක්‍රීඩා කරන දෙවන වසර මෙයයි.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවාට වඩා අත්දැකීම් සමුදායක් එහි ක්‍රීඩා කිරීමෙන් මං ලබාගන්නවා. තරග 35ක් පසුගිය මාස නමයක කාලයකදි ක්‍රීඩා කොට ඒ තුලින් අත්දැකීම් ලබාගන්නට හැකියාවක් ලැබුණා. දැන් අපි හොඳින් ක්‍රීඩා කරනවා.පිළිමළුන් පිටු දැකීමේ වටයේදී අපි තෙවන ස්ථානය ලබාගත්තා.” සුජාන් තම ඊගල්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා විලාසය පිලිබදව අදහස් දක්වමින් පැවසීය.

සුජාන් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා කිරීම හා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම තුළින් දේශීය ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා රටාව පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමේ හැකියාවක් ඇති බවයි.

“අපට තවත් ජාත්‍යන්තර තරග අවශ්‍යයි.සුහද තරග වශයෙන් හෝ අප ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රීඩා රටාවට ඇතුලත් කරමින් ක්‍රීඩා කිරීමට ඉඩ සැලසීම තුලින් දේශීය පාපන්දු ක්‍රීඩාවේ අනාගතය සඳහා වටිනා ආයෝජනයක්” යැයි කණ්ඩායම් නායක සුජාන් විසින් ප්‍රකාශ කල සිටියේය.

සුජාන් වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු හා නායකයෙකු කණ්ඩායම වෙත ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් “සුජාන් කියන්නේ ජාත්‍යන්තරව ක්‍රීඩා කරන අත්දැකීම් හා නායකත්ව ගුණාංග සපිරි ක්‍රීඩකයෙක්. මං හිතනවා ඔහු හොඳින් සියල්ල සිදු කරයි කියා” යැයි ස්ටෙයිවල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

“මං ආඩම්බර වෙනවා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම ගැන සහ රට වෙනුවෙන් මගේ කණඩායමට නායකත්වය ලබා දීමට හැකි වීම ගැන.මාගේ බලාපොරොත්තුව හැකි උපරිමයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි.” යැයි නායක සුජාන් තම අදහස් ප්‍රකාශ කරමින් පැවසීය.

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ටත් කාම්බොජියානු වේලාවෙන් පස්වරු 6:30ටත් කාම්බෝජයේ පෙහෙනොන් ප්හිනා හීදී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම –

සූජාන් පෙරේරා © – මොහොමඩ් රිෆ්නාස් – සන්ක දනුශ්ක – දුමිදු හෙට්ටිඅරච්චි – බන්ඩාර වරකාගොඩ – එඩිසොන් ෆිගුරඩො – සූබාශ් මදුශාන් – ප්‍රබාත් රුවන් – අමිත් කුමාර – අසීකුර් රහුමන් – කවීශ් ෆර්නැන්ඩො – චතුරංග සංජීව – දිලිප් පීරිස් – චලන චමීර – නිපුන බන්ඩාර – ලක්ෂිත ජයතුංග – කවින්දු ඉශාන් – දනුශ්ක මදුශන්ක – අෆාම් අක්‍රම් – සර්වන් ජෝහර් – ගනරුබන් විනොත්

ප්රධාන පුහුණුකරු –ඩඩ්ලි ස්ටෙන්වල්
සහය පුහුණුකරු – දේවසාගායම් රාජමනි
ගෝල රැකීමේ පුහුණුකරු – මහින්ද ගලගෙදර
කළමණාකරු – මොහොමඩ් රමිස්
භෞතික චිකිත්සක – එස්. සිල්වා.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට