ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ

106

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (01) පල්ලෙකැලේ දී පැවැත්වුණු පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර ප්‍රමාණය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි වේලාවක් රැගෙන තිබෙන නිසා ඊයේ තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා හටම 40%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇත.

අළුබඳුනේ නව විනිසුරුවන් අතරට අපෙන් දෙදෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ දෙනෙකුට කිසිදා අමතක නොවන තරග අත්දැකීමක් ලබා දෙමින් නිමාව දුටු…

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 19කුත් පන්දු 3ක් ක්‍රියාත්මක කළ නමුත්, ඒ සඳහා වෙන්කර තිබෙන සම්මත කාලය තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රියාත්මක කර තිබුණේ නියමිත පන්දුවාර ප්‍රමාණයට වඩා පන්දුවාර දෙකක් අඩුවෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් වෙනුවෙන් නිකුත් කර තිබෙන චර්යා ධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව තරගයේ නියමිත කාලයට වඩා කාලය රැගෙන ක්‍රියාත්මක කරන එක් පන්දුවාරයක් සඳහා එම කණ්ඩායමේ තරගය ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩකයින් සියලුම දෙනාගේ තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ලෙස කපාහැරීමට ICCයට හැකිය. 

මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුල පන්දුවාර 2ක් අඩුවෙන් ක්‍රියාත්මක කර තිබෙන නිසා තරගය ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩකයින් සියලුම දෙනාගෙන් තරග ගාස්තුවෙන් 40%ක ප්‍රමාණයක් කපා හැරේ.

තරගයට පසුව තරග තීරක ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා යොමු කළ චෝදනවා ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පිළිගෙන තිබෙන නිසා මේ සඳහා වෙනම පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය නොවේ.

මේ තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් දෙදෙනා ලෙස ශ්‍රී ලංකාවේ රවීන්ද්‍ර විමලසිරි හා ප්‍රගීත් රඹුක්වැල්ල දායකත්වය දැක්විය. තරගයේ තෙවැනි හා සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කරනු ලැබුවේ ලින්ඩන් හැනිබල් හා රැන්මෝර් මාර්ටිනස් යන විනිසුරුවරුන් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනා ද ශ්‍රී ලංකා තරග විනිසුරුවරුන් වීම සුවිශේෂී වේ. 

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය හෙට (3) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතව ඇත.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<