දක්‍ෂයන් සොයන්න එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක්‌

306

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා දක්‍ෂතම ක්‍රීඩකයන් සංචිත ගත කිරීමට එක්‌දින තරගාවලියක්‌ අද (10 දා) සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගෙන තිබේ.

එංගලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියට අමතරව ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායමට, සංවර්ධිත කණ්‌ඩායමට සහ වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායම්වලට ක්‍රීඩකයන් තෝරා ගැනීම මෙම තරගාවලියේ ප්‍රධානතම ඉලක්‌කය වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සනත් ජයසුරිය මහතාගෙන් “දිවයින” විමසන ලදුව, “මේ එක්‌දින තරගාවලියේ දක්‍ෂතා දක්‌වන අයට ජාතික කණ්‌ඩායමටත්, “ඒ” කණ්‌ඩායමටත් වගේම අනෙකුත් ප්‍රධාන කණ්‌ඩායම් වලට ඇතුළත් වීමේ අවස්‌ථාව ලැබෙනවා. ඒ නිසා මේ තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තැනක්‌ ලබා ගැනීමට උපරිමය ක්‍රීඩා කිරීමට වගබලා ගත යුතුයි.” යනුවෙන් පැවසීය.

එංගලන්තය සමග ටෙස්‌ට්‌ සංචිතයට අයත් නොවන අනෙකුත් සුපිරිම ක්‍රීඩකයන් හැට දෙනකු අදාළ කණ්‌ඩායම් හතර නියෝජනය කරනු ලබයි. එහිදී ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩා කරමින් ස්‌ථානයක්‌ අහිමි වූ ක්‍රීඩකයන්ට සහ අනෙක්‌ දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන්ට ඉදිරියේදී නිසි තැන ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායම ඉදිරියේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත අතර යොවුන් කණ්‌ඩායමද මේ වසරේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

තවත් පුවත් සිංහලෙන්