40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල 25දා සිට අනුරාධපුරදී

153

ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව සංවිධානය කරන 40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුර නගර මධ්‍යයේ පසුගියදා විවෘත කරන ලද උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ලබන 25 සිට 27දා දක්වා පැවැත්වෙයි.

ක්‍රීඩා 21ක් වෙනුවෙන් සංවිධානය කරන මෙම වාර්ෂික ක්‍රීඩා උළෙලේ මේ වන විට සියලුම කණ්ඩායම් තරග පවත්වා අවසන් කර ඇති බැවින් අනුරාධපුරදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ඉසව් පමණි.

ඒ සඳහා බස්නාහිර පළාතෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්, දකුණු පළාතෙන් 110ක්, උතුරු පළාතෙන් 100ක්, නැඟෙනහිර පළාතෙන් 92ක් උතුරු මැද පළාතෙන් 92ක්, මධ්‍යම පළාතෙන් 91ක්, වයඹ පළාතෙන් 92ක්, සබරගමුව පළාතෙන් 88ක් හා උෟව පළාතෙන් 69ක් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 844 දෙනකු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙලේ පහන දැල්වීම උතුරු මැද පළාතෙන් බිහිවූ මලල ක්‍රීඩකයකු වන කසුන් කල්හාර සෙනවිරත්න හා එම පළාතේ ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක වන එම්.ජී. චන්ද්‍රාවතී යන දෙදෙනාට පවරා ඇත.

ක්‍රීඩක ප්‍රතිඥාව ලබාදීම එම පළාතේම ක්‍රීඩිකාවක වන නිමේෂා මධුෂානි සිරිවර්ධන ක්‍රීඩිකාව විසින් සිදුකරනු ලබන අතර විනිසුරු ප්‍රතිඥාව ලබාදීම පැවැරී ඇත්තේ ජේ‍යෂ්ඨ තාක්‍ෂණ නිලධාරි කේ.පී. ඥානපාල මහතාටය.

මේ වන විට අවසන් කර ඇති කණ්ඩායම් තරගවලදී රන් 67ක් රිදී 46ක් හා ලෝකඩ 49ක් වශයෙන් පදක්කම් 162ක් දිනා බස්නාහිර පළාත පදක්කම් සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර දෙවැනි ස්ථානයේ පසුවන මධ්‍යම පළාත රන් 33ක් රිදී 34ක් හා ලෝකඩ 34ක් ලෙස පදක්කම් 101ක් දිනාගෙන ඇත. සෑම කේවල තරග ඉසව්වකම පළමු ස්ථානය සඳහා රුපියල් 7500ක මුදලක් පිරිනමන අතර එහි දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 5000ක් හා 3000ක් බැගින් පිරිනැමීමට සැලසුම් කර ඇත. කණ්ඩායම් තරගවලදී ජයග්‍රාහී කණ්ඩායමේ එක ක්‍රීඩකයකුට රුපියල් 3000 බැගින්ද දෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 2000 බැගින් හා තෙවැනි ස්ථානය සඳහා රුපියල් 1000 බැගින් පිරිනැමෙයි.

මීට අමතරව සෑම ක්‍රීඩාවකම දක්‍ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට රුපියල් 10,000ක මුදලක් පිරිනැමීමටද ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජිනී ජයකොඩි (වමේ) හා මාධ්‍ය ලේකම් හර්ෂ අබේකොන් මාධ්‍ය හමුවට සහභාගි වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය – ප්‍රියන්ත වික්‍රමාරච්චි