සිංහ සංවර්ධනයට තරගාවලි ජය මඟ හැරෙයි

556
SL vs ZIM

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර පළමු නිළ නොවන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර, එම තරගාවලියේ දෙවන තරඟය අද (5) හරාරේ පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: T20 සංචිතයට වෙනස්කම් රැසක්

කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

එම ඇරයුමින් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුව තුලම දවාලීමට කසුන් මදුසංක සමත් විය. අනතුරුව ලකුණු 53කට කඩුලු 4ක් දැවී සිම්බාබ්වේ කණ්ඩායම තරමක් පසුබැස සිටියදී 5 වන කඩුල්ල සඳහා කුඩ්සාල් සවුරම්බා හා බ්‍රයන් චැරී ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් තරමක ස්ථාවර මට්ටමකට සිම්බාබ්වේ කණ්ඩායම ගෙන ආ අතර එම සබඳතාවය නිමාවූයේ සවුරම්බා ලකුණු 20ක් ලබා සිටියදී දැවීයාමත් සමගිනි.

අනතුරුව 6 වන කඩුල්ල සඳහා වොලර් හා එක්වූ චැරී ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ගොඩනැංවූනු දෙවන ඉහළම සබඳතාවයි. දක්ෂ ඉණිමක් දියත් කල චැරී ලකුණු 85කට 6 වන කඩුල්ල ලෙස 4 පහරවල් 8ක් එල්ල කරමින් සිටියදී දැවීයන ලදි.

8 වන කඩුල්ල සඳහා ඔවුන්ගේ ලකුණු පුවරුවේ සවිමත් බව තවත් වැඩිකරමින් මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමේ ඉහළම සබඳතාවය ගොඩනංවමින් ලකුණු 73ක සබඳතාවයක් ගොඩනැංවීමට කාල් මුම්බා හා මක්හුලුලි නයාති සමත් විය. නයාති 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 29ක් ලබාගත් අතර 4 පහරවල් 3ක් හා එක් 6  පහරක් සමග නොදැවී ක්‍රීඩා කල මුම්බා ලකුණු 40*ක් ලබාගන්නා ලදි.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම – 255-09 (50) බ්‍රයන් චැරී 85, නේතන් වොලර් 44, කාල් මුම්බා 40*, මක්හුලුලි නයාති 29, අනුක් ප්‍රනාන්දු 3/46, චරිත් අසලංක 2/37

අනතුරුව ලකුණු 256ක ලකුණක් හඹායාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක සබඳතාවය ලකුණු 4කට සීමා කරමින් පැතුම් වඩුගේ එක් ලකුණකට දැවීයන ලදි. ලකුණු 37ක් තුළ ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරුවන් කිහිපදෙනක්ම දවාලීමට සමත් වූ සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 37කට කඩුලු 3ක් ලෙස සටහන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක රුමේෂ් බුද්ධික හා අනුක් ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගත් අතර බුද්ධික 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 75ක් හා අනුක් 4 පහරවල් 5ක් හා එක් 6 පහරක් සමග ලකුණු 52ක් ලබාගන්නා ලදි. 6  වන කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා ලකුණු 110ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් මෙම තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙතට ගෙන ආවද අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 30ක් තුළ දවාලූ සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට තිබූ තරඟයේ ජයග්‍රහණය උදුරාගෙන තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 241-10 (49.1) රුමේෂ් බුද්ධික 75, අනුක් ප්‍රනාන්දු 52, හෂාන් දුමිදු 25, සංජය චතුරංග 23, වික්ටර් නව්වාචි 3/39, මක්හුලුලි නයාති 3/43

මෙම තරගාවලියේ තෙවන හා අවසන් තරඟය ලබන 7 වනදා හරාරේ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට