ආබාධවලින් ක්‍රිකට් ක්‍රීඩකයින් රැක ගන්න වැඩපිළිවෙළක්

189

පළමු ශ්‍රේණියේ සහ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ආබාධවලින් තොරව අඛණ්ඩව ක්‍රීඩාවේ නියැලීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කිරීමට පියවර ගෙන ඇත.

[rev_slider LOLC]

මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට රට පුරා විසිර සිටින ප්‍රිමියර් ලීග් හා නැගී එන ක්‍රිකට් සමාජවල ක්‍රීඩකයින් දැනුවත් කිරීමට කටයුතු යොදන බව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ශාරීරික දක්ෂතා අංශයේ කළමනාකරු රොබ් චෙව් මහතා ප්‍රකාශ කර සිටියේය.

ආබාධවලින් තොර ක්‍රීඩකයෙකු බිහි කිරීම සඳහා ක්‍රමවත් යෝග්‍යත්වයකට හා පෝෂණ සංස්කෘතියකට ඔවුන් යොමු කළ යුතු බව ද රොබ් චෙව් මහතා පැවසීය.

ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩකයින් ක්‍රියාශීලිව දස්කම් දැක්වීමට ඔවුන්ට ශක්තිය ලබා දීමෙන් හා ශක්තිය දරා ගැනීමේ හැකියාව ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ගේ වේගවත් දක්ෂතාවයත් වැඩි වනු ඇතැයි ද රොබ් චෙව් මහතා පැවසීය.

මේ අරමුණ සාර්ථක කර ගැනීමේ පියවරක් ලෙස ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජයන්හි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළේය. මේ අවස්ථාවට ප්‍රිමියර් සමාජ 14කත් නැගී එන ක්‍රීඩා සමාජ 09ක් හා පුහුණුකරුවන් තිහක් එක්ව සිටියහ.

ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායමක් ලෙසත්, පෞද්ගලිකවත් ශාරීරික යෝග්‍යතාවයෙන් පිරිපුන් ක්‍රීඩකයන් ලෙස ක්‍රියාශීලීව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වැඩමුළුව මෙහෙය වූ රොබ් චෙව් මහතා දීර්ඝ ලෙස පුහුණුකරුවන් දැනුවත් කළේය.

සමබර දේශීය ආහාර වේලක් මගින් කාබෝහියිඩ්‍රේඩ්, ප්‍රෝටීන් හා පෝෂණය ලබා ක්‍රියාශීලි ක්‍රීඩකයින් බිහිකර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී රොබ් චෙච් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යයන ඒකකය මෙහෙයවූ මේ වැඩමුළුවට එම ඒකකයේ ප්‍රධානී හෙෂාන් ද මෙල්, චමිල ගමගේ හා චානක දීගොඩගමගේ හා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානි සයිමන් විලිස් යන මහත්වරු ද සහභාගි වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <