ලකුණු 199ක් පන්දු 93කින් හඹා ගිය බට්ලර් – රනා වික්‍රමය

4606
IPL Kings XI Punjab v Mumbai Indians

කිංග්ස් XI පන්ජාබ් පිළට වැඩි සහයෝගයක් දක්වන ප්‍රේක්ෂකයින් දහස් ගණනක් ඉදිරියේ ලකුණු 199ක් දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඊයේ (20) මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිළ සමත් විය. ඒ අනුව තම ප්‍රථම විස්සයි විස්ස ශතකය ලබාගත් පන්ජාබ් පිළේ ආරම්භක පිතිකරු හෂීම් අම්ලාගේ ඉනිම ඵල රහිත විය.

විලියම්සන්ගේ ආගමනයත් සමඟින් සන්රයිසර්ස් පිළට තවත් ජයක්

සන්රයිසර්ස් පිළට එරෙහිව ඊයේ (19) පැවති තරගයෙන් ලකුණු 15ක පරාජයක් උරුම කර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට සිදුවිය…

කාසියේ වාසිය ජය ගත් මුම්බායි නායක රෝහිත් ශර්මා පැතලි තණතීරුවක් සහ අඩු දුර හතරේ සීමාවක් සහිත හෝල්කාර් ක්‍රීඩාංගණයේ දී මුලින් පන්දු යැවීමට තීරණය කරන්නේ ලැබෙන ඕනෑම ලකුණු සංඛ්‍යාවක් තම ශක්තිමත් පිතිපෙළ ආධාරයෙන් හඹා යාමේ බලාපොරොත්තුව පෙරදැරි කර ගෙනයි. ඒ අනුව ඉනිම අරඹන හෂීම් අම්ලා සහ ශෝන් මාර්ශ් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක් එක් කරමින් පන්ජාබ් මැදපෙළ පිතිකරුවන්ට හොඳ අත්තිවාරමක් දමා දුන්හ. තරගයේ මුල් කොටසේ දී අම්ලා එතරම් ප්‍රහාරයට නැඹුරු නොවූ අතර ශෝන් මාර්ශ් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් රැස් කළේය.

කෙසේ වෙතත් මිචෙල් මැක්ලනගන් ක්‍රියාත්මක කළ දෙවැනි පන්දු වාරයේ දී ශතකලාභී අම්ලාව දුවද්දී දවාගෙන තරගය තමන් දෙසට හරවා ගැනීමට මුම්බායි පිළට අවස්ථාවක් උදා වූවත් පන්දු රකින්නන්ගේ දුර්වලතාවය අම්ලාට වාසනාව උදා කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අම්ලා පන්ජාබ් ප්‍රේක්ෂක ජය ඝෝෂා මැද තමන්ටම ආවේණික වූ ප්‍රවේගකාරී නමුත් තාක්ෂණානුකූල පහර රැසක් එල්ල කරමින් පන්දු 60කින් නොදැවී ලකුණු 104ක් රැස් කර ගත්තේය. ඔහුගේ සුපිරි ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 6කින් හැඩවිය.

කඩුලු රකින පිතිකරු ව්‍රිදිමන් සහා අවස්ථාවට උචිත නොවන මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 15කින් ලකුණු 11ක් රැස් කළ ද පන්ජාබ් නායක ග්ලේන් මැක්ස්වෙල් පිටියට පැමිණීමත් සමඟ පන්ජාබ් පිළට කඩුලු 4කට ලකුණු 198ක් ලබා ගැනීමේ අවස්ථාව උදාවිය. ඒ මැක්ස්වෙල් තම සුපුරුදු ප්‍රහාරය දියත් කරමින් පන්දු 18කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් අඩංගු කරමින් ලකුණු 40ක් රැස් කළ බැවිනි. අවසන් පන්දු වාර කිහිපයේ දී කඩුලු ඉතිරිව තිබූ නිසා ප්‍රහාරය දෙගුණ තෙගුණ කරන්නට අම්ලා සහ මැක්ස්වෙල් පසුබට වූයේ නැත.

මුම්බායි ප්‍රේක්ෂකයින්ගේ සුපිරි ක්‍රීඩා තරුව වන ලසිත් මාලිංගට නම් ඊයේ දිනය කිසිසේත්ම සුබවාදී නොවීය. ඒ ඔහු ක්‍රියාත්මක කළ පන්දු වාර 4 තුල දී ලකුණු 58ක්ම ප්‍රතිවාදීන්ට පුද කරන්නට ඔහුට සිදුවූ බැවිනි. ඒ අතරතුර එකම කඩුල්ලක් හෝ දවා ගන්නට ඔහුට නොහැකි විය. විශේෂයෙන්ම මාලිංගට එරෙහිව දරුණු ප්‍රහාරයක් දියත් කරන්නට හෂිම් අම්ලා පියවර ගත්තේය. කෙසේ වෙතත් මුම්බායි පිළේ ප්‍රහාරයට ගොදුරු වුනු එකම පන්දු යවන්නා මාලිංග නොවූ අතර කඩුලු 2කට හිමිකම් කියූ මැක්ලනගන්ගෙන් ද පන්ජාබ් පිතිකරුවන් ලකුණු 46ක් උදුරා ගත්හ.

පසුගිය තරග කිහිපයම ජයගෙන හොඳ රිද්මයක පසුවන මුම්බායි පිතිකරුවන් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී ප්‍රකට කළේ ඉතාමත්ම ධනාත්මක පිතිකරණ රටාවකි. කිසිම අවස්ථාවක දී ලකුණු වේගය මගින් තමන් වෙත පීඩනයක් ගොඩ නැගෙන්නට ඉඩ නොදුන් ඔවුන් නිරන්තරයෙන්ම එල්ල කරන ලද හතරේ සහ හයේ පහර රැසක් මගින් පීඩනය මුදා හැරියහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන පාතිව් පටෙල් සහ ජෝස් බට්ලර් ලකුණු 81ක වේගවත් සබඳතාවයක් ගොඩ නගමින් මුම්බායි ජයග්‍රහණය අවශ්‍ය පාර කැපූහ.

පන්දු 18කට පමණක් මුහුණ දුන් පාතිව් පටෙල් එහි දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් රැස් කරගෙන දැවී ගිය ද ඒ වන විටත් ඔහු පන්ජාබ් පිළට සැළකිය යුතු හානියක් සිදුකර තිබුණි. මීට අමතරව එංගලන්ත සුපිරි ප්‍රහාරක ජෝස් බට්ලර් තමන්ටම සුවිශේෂී වූ යටි බාහුවේ ශක්තිය කැටිවූ පහරවල් මනාව උපයෝගී කර ගනිමින් පන්දු 37ක් තුල දී ලකුණු 77ක් රැස්කර ගත්තේය. ඔහුගේ මනරම් ඉනිම හතරේ පහර 7කින් සහ දැවැන්ත හයේ පහර 5කින් වර්ණවත් විය.

මේ වන විට තම ක්‍රීඩා දිවියේ සුපිරිතම රිද්මයේ පසුවන 23 හැවිරිදි නිතිශ් රනාට ඊයේ නොදැවී ලකුණු 62ක් රැස් කරන්නට වැය වූයේ පන්දු 34ක් පමණි. ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර අඩංගු නොවූ අතර පුල් පහර සහ ස්ලොග්-ස්වීප් පහර මනාව උපයෝගී කරගෙන එල්ල වුනු දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් විය. මේ වන විට මුළු ලකුණු 255ක් රැස් කරගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසු වන්නේ ද ඔහුයි. ඒ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු සාමාන්‍යය 51ක් සහ ප්‍රහාරක වේගය 142.45ක් ලෙස සටහන් කර ගනිමිනි.

මුල්පෙළ පිතිකරුවන්ගේ මල් වෙඩි සන්දර්ශනය නිසාවෙන් මුම්බායි මැදපෙළ පිතිකරුවන් කරන්නට වැඩි යමක් ඉතිරිව නොතිබූ අතර පන්දු 4කින් නොදැවී ලකුණු 15ක් ලබා ගත් හාර්දික් පාණ්ඩ්‍යා මුම්බායි පිළ පහසු ජයක් කරා ගෙන ගියේය. ඒ ඉනිම නිමා වීමට තවත් පන්දු 27ක් ඉතිරිව තිබියදීය. තරගයේ වීරයා සම්මානය ජෝස් බට්ලර්ට හිමිවුණු අතර මුම්බායි පිළට නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළටම නැගීමට ද අවස්ථාව උදා විය.

මේ වන විට තරග 6කට සහභාගි වී ඇති මුම්බායි ක්‍රීඩකයින් ඉන් තරග 5ක්ම ජය ගන්නට සමත්වී ඇත. තරග 4 බැගින් ජය ගත් කල්කටා නයිට් රයිඩර්ස් පිළ සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිළ පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන වල පසුවෙයි. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ලයන්ස් අතර තරගය අද රාත්‍රී 8ට ඊඩ්න් ගාර්ඩ්න් හිදී පැවැත්වීමට නියමිතයි.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 4ක් දැවී ලකුණු 198 (පන්දුවාර 20): හෂිම් අම්ලා 104*, ග්ලේන් මැක්ස්වෙල් 40, ශෝන් මාර්ශ් 26, ව්‍රිදිමන් සහා 11, මිචෙල් මැක්ලනගන් 2/46, කෘනාල් පාණ්ඩ්‍යා 1/29, ජස්ප්‍රිට් බූම්රාහ් 1/30.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 2ක් දැවී ලකුණු 199 (පන්දුවාර 15.3): ජෝස් බට්ලර් 77, නිතිශ් රනා 62*, පාතිව් පටෙල් 37, හාර්දික් පාණ්ඩ්‍යා 15, මාකස් ස්ටොයිනිස් 1/28, මොහිත් ශර්මා 1/29.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට