තහනම් ලෙස උත්තේජනය වූ ඔහුගේ නම හෙළිවේ

637

තහනම් උත්තේජක භාවිතය මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පහත බැසීමට දැඩි ලෙස හේතුවී තිබේ. තහනම් උත්තේජක භාවිත කළ බවට පසුගිය සතියේ දී සහතික වූ බොක්සිං ක්‍රීඩකයාගේ නම හෙළි කිරීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ MAS බොක්සිං සමාජය තීරණය කොට ඇත්තේ ඉදිරියට එවැනි වැරදි කිරීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදවා ගැනීම සඳහායි.

ඔහු 2018 ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ කි.ග්‍රෑම් 52 බර පන්තියේ ශූරයා වූ ඉන්දික පෙරේරා ය. MAS කණ්ඩායම නියෝජනය කරමින් තරග කළ ඔහු වසර කිහිපයක බොක්සිං අත්දැකීම් ඇත්තෙකි. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් මෙය තහවුරු කරනු ලැබීය.

2018 සැප්තැම්බර් 29 වැනිදා ලබාගත් ක්‍රීඩකයන්ගේ මුත්‍රා සාම්පල ඉන්දියානු ජාතික උත්තේජක විද්‍යාගාරය වෙත යැවීමෙන් අනතුරුව පර්යේෂණවලට ලක්කරනු ලැබිණි. එහි බොල්ඩිනොන් සහ මෙටබොලික් බහුජනක ඇති බවට ඔවුන් විසින් තහවුරු කර ඇත.

ඉන්දික පෙරේරාගේ පුහුණුකරු ලෙස කටයුතු කළ මංජු වන්නිආරච්චි ද 2010 වර්ෂයේ දී මෙවැනිම චෝදනාවකට ලක්වී රන් පදක්කමක් අහිමි කරගත් ක්‍රීඩකයෙකි. චෝදනා තහවුරු වීමෙන් පසුව මංජු හට හිමිවූ තරග තහනම වසර දෙකකි. එතැන් පටන් ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් තහනම් උත්තේජක සම්බන්ධව ගනු ලබන පියවර තරකරනු ලැබීය. තහනම් උත්තේජක ලබන ක්‍රීඩකයන් සහ ඊට ඔවුන්ව පොළඹවන ඕනෑම අයෙකුට ජීවිතාන්තය වනතෙක් බොක්සිං තහනම් කරන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමය පවසයි.

අදාළ ක්‍රීඩකයාට B සාම්පල පරීක්ෂාවක් ඉල්ලා සිටීමට පෙබරවාරි 14, එනම් අද දින උත්තේජක මර්දන නියෝජ්‍යායතනය හමුවේ පෙනී සිටින්නට යැයි දැනුම් දී තිබේ. පරීක්ෂණ අවසන් වනතෙක් ඔහු හට බොක්සිං තරග ක්‍රීඩා කිරීමේ තහනමක් ද යොදවා ඇත.

පසුගිය සති කිහිපය තුළ දී ජාතික මලල ක්‍රීඩකයෙකු සහ පාසල් මලල ක්‍රීඩිකාවක ද තහනම් උත්තේජක භාවිත කළ බවට පර්යේෂණ වලින් සහතික විය. මෙය ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් වගකිවයුතු පාර්ශවයන් ඒ වෙත විමසුම් ඇස යොමුකරනු ඇතැයි ක්‍රීඩාවේ ජීවගුණය අගය කරන ThePapare.com අපි බලාපොරොත්තු වන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<