මැලේ හොකී කණ්ඩායම පෙරමුණේ

210

කොළඹ හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ හොකී ලීගයේ තවත් තරග කිහිපයක් ඊයේ (26) සහ අද (27) කොළඹ Astro turf පිටියේ දී පැවැත්විය. එම දින දෙක තුළ පැවැත්වූ තරග සියල්ලේම ජයග්‍රහණය තමා සතු කර ගනිමින් තරගාවලිය තුළ කැපීපෙනෙන දස්කම් දැක්වීමට මැලේ හොකී සමාජය සමත් විය.

කොළඹ හොකී තරගාවලිය සාර්ථකව අවසන්

කොළඹ හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ හොකී ලීග් තරගාවලිය 19 හා 20 (ඊයේ) කොළඹ Astro turf පිටියේ දී පැවැත්විය.

  • පළමු දිනය – අගෝස්තු 26

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වූ පළමු තරගය පිරිමි අංශය සඳහා වෙන් වී තිබූ අතර, එහි දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම හා OLD BENS හොකී කණ්ඩායම එකිනෙකා මුණ ගැසුණි.

තරගයේ මුල් මිනිත්තු කිහිපය තුළ දෙපිලම හොඳින් ක්‍රීඩා කළ අතර තරගයේ අවසන් භාගයේ දී OLD BENS හොකී කණ්ඩායම විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 2 – 0ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් විය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා ආදි සාන්ත ජෝසප් හොකී කණ්ඩායම අතර පැවති තරගය පිරිමි අංශයේ තරගයක් ලෙස පැවැත්විය. තියුණු තරගයකින් අනතුරුව ලකුණු 1-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත් විය.

පළමු දිනය තුළ පැවති තෙවන තරගයේ දී මොරටුව විශ්ව විද්‍යාල පිරිමි හොකී කණ්ඩායමට එදිරිව මැලේ හොකී කණ්ඩායම සටන් වදින ලදි. තරගයේ මුල් මිනිත්තු කිහිපය තුළ දෙපිලම හොඳින් ක්‍රීඩා කළ අතර මැලේ හොකී කණ්ඩායම ප්‍රතිවාදීන්ගේ අඩුපාඩු හා දුර්වලතා මනාව හඳුනා ගනිමින් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 6 –1ක් ලෙස පරාජයට පත් කරන්නට සමත් විය.

ලකුණු 3-1ක් ලෙස අවසන් වූ ආදී සාන්ත තෝමස් හොකී කණ්ඩායම හා ආදී ජනාධිපති හොකී සමාජය අතර තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ආදී සාන්ත තෝමස්  සමාජයයි.

ආදී රාජකීය හොකී සමාජය හා CH & FC “B” හොකී සමාජය අතර පැවැත්වූ තරගය පිරිමි අංශය යටතේ පැවැත්වුණු අතර මෙම තරගය ලකුණු 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ආදී රාජකීය හොකී කණ්ඩායම සමත් විය.

CH & FC “A” හොකී සමාජය හා ආදී ආනන්ද හොකී ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර ඔවුන් ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වමින් මිත්‍රශීලී අන්දමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. අවසානයේ  CH & FC “A”  හොකී සමාජය මෙම තරගය ලකුණු 7-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙම උද්වේගකර තරගය ද පිරිමි අංශය යටතේ ක්‍රියාත්මක විය.

තරගාවලියේ ඊයේ (26) දිනය තුළ කාන්තා අංශය යටතේ පැවැත්වූ එකම තරගය පැවතියේ  ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කාන්තා කණ්ඩායමට එදිරිව කෝල්ට්ස් කාන්තා හොකී ක්‍රීඩා කණ්ඩායම අතරයි. ලකුණු 3-0ක් ලෙස එම තරගය අවසන් කළ කෝල්ට්ස් කාන්තා සමාජය තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

  • දෙවන දිනය අගෝස්තු 27

දෙවන දිනයේ පළමු තරගය CH & FC “A” හොකී ක්‍රීඩා සමාජය හා ආදී නාලන්ද හොකී ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ අතර ලකුණු 2–1ක් ලෙස CH & FC “A” හොකී සමාජය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මැලේ හොකී සමාජය හා මොරටුව විශ්ව විද්‍යාලයීය හොකී ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ තරගය ලකුණු 4-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට මැලේ හොකී සමාජයට හැකි විය.

ඉන්පසුව පැවති තරගය ලකුණු 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොළඹ විශ්ව විද්‍යාල හොකී සමාජය සමත්  වූයේ CH & FC “B” හොකී සමාජය පරාජයට පත්කරමිනි.

ලකුණු 2-1ක් අවසන් වූ ආදී සහිරා හොකී ක්‍රීඩා සමාජය හා ආදී ආනන්ද හොකී සමාජය අතර තරගය ජයග්‍රහණය කිරීමට ආදී සහිරා හොකී සමාජය සමත් විය.

අද දිනය තුළ පැවති මැලේ හොකී සමාජය හා ආදි රාජකීය හොකී සමාජය අතර තරගය දිනයේ තරගකාරීම හා කාගේත් අවධානය දිනාගත් තරගය බවට පරිවර්තනය වූයේ දෙපිලම කරට කර සටනක්, අවසන් මොහොත දක්වාම දියත් කිරීම නිසාවෙනි. කෙසේ නමුත් මෙම තරගය ලකුණු 5-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැලේ හොකී කණ්ඩායම සමත් විය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට