ශ්‍රී ලංකාව ලෝක ශූර ඉන්දියාව පරාජය කරයි

174

ඊයේ (15) ආරම්භ වූ ඉන්දු – ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය අද (16) කොළඹ BRC පිටියේ දී පැවති අතර එම තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය අභියෝගය මැඩලයි

දිනය ආරම්භයේම පිටියේ අවට තණතිල්ල තෙත බරිතව තිබීම නිසා තරගයේ ආරම්භය පැය කිහිපයකින් පමණ ප්‍රමාද විය. ඒ නිසා තරග විනිසුරුවරුන් එක් ඉනිමක් පන්දුවාර 20කට සීමා කළේය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේ දී මෙන්ම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම ආරාධනා කළේ සිය පිතිකරණයේ ජවසම්පන්න බව හඳුනන නිසාවෙනි.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබා ගන්නා ලදි. එහි දී වමතින් පිත්ත හසුරුවන අජේ රෙඩ්ඩී ලකුණු 66ක් ලබා ගන්නා විට දකුණතින් පිතිකරණයේ නිරත වූ මැදපෙළ පිතිකරුවෙක් වන සුනිල් රමේෂ් නොදැවී ලකුණු 59*ක් රැස්කර ගත්තේය. පළමු එක්දින තරගයේ දී අර්ධ ශතකයක් ලබාගත් දුර්ගා රාවෝ හට මේ තරගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 39ක් පමණි.

පන්දුවාර 20ක් තුල ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 2ක් තුල සපුරා ගත්තේ කඩුලු 3ක් පමණක් දවා ගනිමිනි. අජිත් සිල්වා හා සහන් කුමාර මේ තරගයේ දී අර්ධ ශතක ලබාගෙන වේගවත් පිතිකරණයක නිරත වූයේ ඉන්දීය පන්දු යවන්න දැඩි අපහසුතාවයකට ඇඳ දමමිනි. අජිත් සිල්වා පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ද අර්ධ ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා මෙහෙයවූ අතර මේ තරගයේ දී ලබාගත් ලකුණු 90* සඳහා ඔහු විසින් වැය කළේ ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 50ක් පමණි. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟුණු අගනා සබඳතාවය ශ්‍රී ලංකාවේ දෙවන එක්දින ජයග්‍රහණයත් තහවුරු කිරීමට විශාල රුකුලක් විය. පන්දු යැවීමේ දී දීපක් මලික් ලකුණු 38කට එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට (17) කොළඹ BRC පිටියේ දී පැවැත්වේ.

ඉන්දියාව – 195/4 (20): අජේ රෙඩ්ඩී 66, සුනිල් රමේෂ් 59*, දුර්ගා රාවෝ 39.

ශ්‍රී ලංකාව – 197/3 (17.2): අජිත් සිල්වා 90*, සහන් කුමාර 70*, දීපක් මලික් 1/38.

තරගයේ වීරයා – අජිත් සිල්වා (ශ්‍රී ලංකාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<