යොවුන් ඔලිම්පික් තරු සිය ජයග්‍රහණ ගැන කතා කරයි

965

නිමා වූ යොවුන් ඔලිම්පික් උළෙලේ දී මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ඇතුළු සහභාගී වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (20) දිවයිනට පැමිණියාය. පාරමී ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේ දී (VIP) උත්සවයක් ද සංවිධානය කොට තිබුණි. 

පාරමී ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ලක්මාතාවට දිනා දෙයි

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ…

තවමත් 16 හැවිරිදි පාරමී ශ්‍රී ලංකාවේ මතු අනාගත ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් යැයි අතිශයෝක්තියකින් තොරවම සඳහන් කළ හැකිය. යොවුන් ඔලිම්පික් උළෙලක දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ලද පළමු පදක්කම පාරමී විසින් මෙසේ හිමිකරගත් අතර 2007 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සුසන්තිකා ජයසිංහ විසින් මීටර 200 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් පසුව ඕනෑම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම ද මෙය වේ.

ගුවන්තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාරමී,

“මට ගොඩක් සතුටුයි. මේ හීනය (පදක්කම් බලාපොරොත්තු) දැක්කේ මම විතරක් නෙවේ. මගේ පුහුණුකරු ජනිත් සර්ත් මේ හීනය දැක්කා. අපි මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් මේ අවුරුද්දේ මුල ඉඳලම සැලසුම් හැදුවා. මම මගේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරා. මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඔලිම්පික් පදක්කමක් ලංකාවට දිනා දීම.

පාරමී මව, පියා සහ පුහුණුකරු සමඟින්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. දසදහසක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලැබුණා. ඒ වගේම ජනිත් සර් එයාගේ පුද්ගලික ධනය මේ සඳහා වියදම් කරා. ජනාධිපතිතුමාගෙනුත් මට උදවු ලැබුණා. මගේ අම්මා නිවස පවා උගස් කරලා තිබුණා මගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මුදල් හොයාගන්න.

මේ වෙද්දී මගේ නිවස ගොඩක් අබලන් තත්වයේ තියෙන්නේ. ඉතින් මට නිවෙසක අවශ්‍යතාවය තියෙනවා. මගේ ක්‍රීඩා කටයුතු, අධ්‍යාපන කටයුතු කරගන්න කවුරුන් හෝ පරිත්‍යාගයක් කරනවා නම් ඒක මට ලොකු සහයක්. ඒ වගේම විදේශයකට ගිහින් පුහුණුවීම් කරන්න ලැබෙනවා නම් මගේ හැකියාවන් තව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට මූල්‍යමය වශයෙන් උපකාර ලැබෙනවා නම් ඒක ලොකු ශක්තියක් කියලයි.”

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන පාරමී පසුගිය යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ද රන් පදක්කමක් හිමිකර ගත්තාය. සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ දී කිලෝමීටර 15 දිවීමේ කාන්තා ඉසව්වේ ජය හිමිකරගත් පාරමී ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී 18න් පහළ කාන්තා මීටර 2000 සහ මීටර 3000 බාධක දිවීමේ ඉසව්වල දී ද ජය හිමිකරනු ලැබුවේ නව ක්‍රීඩා උළෙල වාර්තා දෙකක් ද සමඟිනි.

>> දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප ඇල්බමය <<

යොවුන් ඔලිම්පික් උළෙලේ උස පැනීමේ ඉසව්වෙන් සිව්වැනි ස්ථානය හිමිකරගත් සෙනිරු අමරසිංහ ThePapare වෙත සිය අදහස් දක්වමින් කියා සිටියේ

“පළමුවැනි අදියර ගොඩක් අමාරු වුනා. සමහර විට පදක්කමක් දිනා ගන්න බැරිවෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න ඇති. ඒත් මම ලෝකෙන්ම 4 වැනි ස්ථානය දිනා ගත්තා. ඒ ගැන මට සතුටුයි. මම කැමතියි මගේ දෙමවුපියන්ටත් මගේ පුහුණුකරුටත් ස්තූති කරන්න. ඉදිරියේ දී ඔලිම්පික් පදක්කමක් ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මම මීටර 2.20ක දක්ෂතාවයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද ඇතුලත ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා”

නව වාර්තා 7කින් පොඩ්ඩෝ තරගාවලිය වර්ණවත් කරති

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ තරගාවලිය…

යොවුන් ඔලිම්පික් උළෙලේ දී දුනු විදීමේ ක්‍රීඩක රවින් දල්පදාදු ද ඔහුගේ අදහස් මෙසේ ThePapare සමඟින් බෙදාගත්තේය.

“මට ගොඩක් සතුටුයි 6 වැනි ස්ථානය ලබාගන්න හැකි වීම සම්බන්ධයෙන්. අපිට තියෙන ලොකුම අඩුව තමයි පුහුණුවීම් සඳහා හරිහැටි ස්ථානයක් නොමැතිවීම. පුහුණුවීම් කරන්න හොඳ ස්ථානයක් සහ ක්‍රීඩකයන්ට දුනු ආදිය ලබා දෙනවානම් ලංකාවේ දුනු විදීමේ ක්‍රීඩාව දියුණු කරන්න පුළුවන්.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<