ක්‍රිකට්‌ අතුරු කමිටුවට මාස නවයක අවසරයක්‌ අයි.සී.සී. සාකච්ඡා සාර්ථකයි – ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක

108

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සමග පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුවට ඉදිරියේදී අයි.සී.සී. යෙන් සියලු සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ බවත් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය.

‘අපි අයි.සී.සී. ප්‍රධානීන් සමග පැවැත්වු සාකච්ඡා සාර්ථකයි. ඔවුන් අපේ කරුණු පිළිගත්තා. ඉදිරියේදී අතුරු කමිටුවට වැඩ කරගෙන යන්න අයි.සී.සී.ය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වුණා. මම මුලින් කිව්වා වගේ මම හිටපු මතයේ වැඩ කරගෙන යන්න කිසිදු බාධාවක්‌ නැහැ.’ යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රීති වලට අනූව ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමට කාල සීමාවක්‌ තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ අතුරු කමිටුව කොතරම් කාලයකට පවත්වාගෙන යාමට අයි.සී.සී. ය අනුමැතිය ලබාදුන්නේද යන්න ඇමැතිවරයාගෙන් විමසන ලදුව, ”අයි.සී.සී.ය අපට මාස අටක්‌ හෝ නවයක්‌ ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පවත්වාගෙන යා හැකි බව ප්‍රකාශ කළා. ඒ කාලය තුළ ලැබෙන්න තිබෙන මුදල් සහ අනිකුත් වරප්‍රසාද ලබාදීමට පොරොන්දු වුණා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී. ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක, ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් සහ භාණ්‌ඩාගාරික නුස්‌කි මොහොමඩ් යන මහත්වරු පසුගියදා ඩුබායි බලා පිටත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයා සහ ලේකම්වරයා ඊයේ දිවයිනට පැමිණියද මෙම සාකච්ඡාව සම්බන්ධව කිසිවක්‌ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම විශේෂත්වයකි. ක්‍රිකට්‌ අතුරු කමිටු ලේකම් ප්‍රකාශ් ෂෆ්ටර්ගෙන් ‘දිවයින’ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, ”අපි සාකච්ඡා කළා. ඇමැතිතුමා තමයි සියලු දේ දන්නේ.” යනුවෙන් පැවසීය.