පාරමී ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ලක්මාතාවට දිනා දෙයි

997
Image Courtesy - NOCSL

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ පාරමී වසන්ති මාරිස්ටෙලා අද (15) ශ්‍රී ලංකා ඉතිහාසයේ ලද ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ලක් මාතාවට දිනා දුන්නාය. ඒ අද පැවති රට හරහා දිවීමේ අදියර ද සාර්ථකව අවසන් කරමිනි.

බෝගොඩ හොඳම 10 දෙනා අතරට එද්දී සෙනිරු ලොව සිව්වැන්නා වෙයි

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව්…

පසුගිය දා පැවති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් මිනිත්තු 6.33.06ක කාලයක් වාර්තා කරමින් තුන්වැන්නා ලෙස ඉසව්ව අවසන් කරන පාරමී අද ඇයගේ දෙවන ඉසව්ව වන රට හරහා දිවීමේ කි.මි. 4 ඉසව්වේ දී මිනිත්තු 13.47ක කාලයක් වාර්තා කරමින් 17වැන්නා ලෙසින් තරගය අවසන් කරමින් බාධක ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතර සිව්වැන්නා බවට පත්විය. මේ අදියර දෙකෙහි දී ම ලද ප්‍රසාද ලකුණුවලට අනුව පාරමී වසන්ති මාරිස්ටෙලා ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.

Image Courtesy – NOCSL

2007 වසරේ දී පැවති ලෝක ශූරතා උළෙලේ දී ශ්‍රී ලංකා ඔලිම්පික් ශූරී සුසන්තිකා මහත්මිය දිනා ගත් ලෝකඩ පදක්කමෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක විසින් ලෝක මට්ටමේ පදක්කමක් ලබා ගත් පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

Image Courtesy – NOCSL

හලාවත ප්‍රදේශයේ අධිෂ්ඨානශීලී ධීවර පියෙකුට සහ උත්සාහවන්ත දිරිය මවකට දාව උපත ලද මේ දිරිය දියණිය පසුගිය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් ද දිනා ගනිමින් ආසියාවේ පළමුවැන්නා ද විය. මේ වන විට ඇය ශ්‍රී ලංකා යොවුන් කාන්තා රග්බි කණ්ඩායමේ ද සාමාජිකාවකි.

Video – යොවුන් මීටර 400 ඉසව්වෙන් ලෝකයෙන්ම හත්වැනියා – ඩිලාන් බෝගොඩ

රැකගත හැකිනම් අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක්.

තවමත් 16 වියෙහි පසුවන පාරමී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිදුලන තාරකාවක් වෙමින් ඩන්කන් වයිට් ලා සුසන්තිකා ජයසිංහ ලා දිනා දුන් කීර්තිය ලංකාද්වීපයට නැවත දිනා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා’යි  ThePapare.com අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<