සැණකෙළි සමයේ තුරග තරග 10දා ඇරඹෙයි

411
Sri lanka horse racing

සැණකෙලි සමය තුළ නුවරඑළියේ පැවැත්වෙන තුරග තරග මාලාවේ ප්‍රථම තරගය අප්‍රේල් මස 10 වැනිදා නුවරඑලිය නවීකරණය කරන ලද තුරග තරග පිටියේදී පැවැත්වේ. රෝයල් ටර්ෆ් සමාජය විසින් සංවිධානය කරනු ලබන අදාළ තරගාවලියේදී 16, 23 හා 30 යන දිනයන්හිදීද තරග ක්‍රියාත්මක වනු ඇත.

වසර 100 කට අධික තුරග තරග ඉතිහාසයේ ශූරතාවක්‌ සඳහා ප්‍රධානය කරනු ලබන විශාලතම ත්‍යාග මුදල මෙම අප්‍රේල් 16 වැනිදා පැවැත්වෙන තරගාවලියේදී පිරිනැමීමට තරග සංවිධායකයන් කටයුතු යොදා තිබීම මෙවර තරගාවලියේ ඇති සුවිශේෂීතාවයක්‌ වශයෙන් හැඳින්විය හැක. එහිදී කුනිගාල් ස්‌ටඩ් මැර්ක්‌ මිලියන් නමින් හැඳින්වෙන ප්‍රධාන තරගය සඳහා ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක්‌ පිරිනැමෙනු ඇත.

ඇල්මැරී තිබෙන ශ්‍රී ලංකාවේ තුරග තරග ක්‍රීඩාව යළි ජනප්‍රිය කරවීම මෙන්ම එහි තත්ත්වය උසස්‌ කිරීම, තරග අසුන් රැක බලාගනිමින් ඔවුන් තහනම් උත්තේජක භාවිතයෙන් වළක්‌වාලීම යන කරුණු පෙරදැරි කොට රෝයල් ටර්ෆ් සමාජය මගින් මෙම තරගාවලි සංවිධානය කිරීම ආරම්භ කර තිබේ. 1840 දී නුවරඑළිය තුරග තරග පිටිය ආරම්භ කර තිබෙන අතර ප්‍රථම තරගාවලිය 1875 වසරේදී පවත්වා තිබේ.

එමෙන්ම ඉපැරණි තුරග සමාජ තවදුරටත් දිරි ගන්වමින් නව තුරග සමාජ ඇති කිරීමට අනුබල දීමද මෙහි ප්‍රධානම අරමුණ බවට පත්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික තහනම් උත්තේජක අධිකාරිය මගින් මෙහි සියලුම තරග අධීක්‌ෂණය කරනු ලැබීමද විශේෂත්වයකි.

ලොව පුරා තුරග තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන මේන් වුඩ් මහතා විසින් රෝයල් ටර්ෆ් සමාජය වෙනුවෙන් මෙම තරගාවලි සංවිධානය කටයුතු මෙහෙයවනු ඇත. වුඩ් මහතා එම සමාජයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබන අතර සුරන්ර්ත් ප්‍රේමදාස මහතා සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

විවිධ අනුග්‍රාහකයන් යටතේ පිරිනමනු ලබන කුසලාන 8 ක්‌ සඳහා අප්‍රේල් 10 පැවැත්වෙන තරගවලදී ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි හා පූර්නි එඩ්වර්ඩ්ස්‌, ඡේ. ආර්. ඉරුගල් බණ්‌ඩාර, අජන්ත ද සොයිසා යන අශ්ව හිමියන්ට අයත් අසුන් රැසක්‌ තරගවැදීමට නියමිතය. එමෙන්ම ලබන අගෝස්‌තු මස පැවැත්වෙන හා ලබන වසරේ පැවැත්වෙන තරගාවලි සඳහා විදෙස්‌ තරගකරුවන් රැසක්‌ තරග වැදීමට කැමැත්ත පළ කර තිබීමද විශේෂත්වයකි.