සඳකැන් – ධනංජය ජය මග විවර කරයි

550
Dhananjaya De Silva and Lakshan Sandakan

වමතින් දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන් පන්දුවෙන් දැක්වූ දස්කම් වලට වටිනාකමක් එක් කරමින් ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගය පහසු ජයක් වෙත ගෙන යන්නට ධනංජය ද සිල්වා සමත් විය. ඊයේ එංගලන්තයේ ඩර්බි හී පැවති මේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම ජය ගත්තේ කඩුලු 7කිනි.

දිවා-රාත්‍රී තරගයක් ලෙස සංවිධානය කර තිබූ මේ තරගය වර්ෂාවෙන් ඇතිවූ බාධා හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා කෙරුණි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා A නායක අශාන් ප්‍රියන්ජන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

ඩර්බිශයර් ඉනිමේ මුල් පන්දුවාර කිහිපය තුළ ශ්‍රී ලංකා A වේග පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් විය. කසුන් රාජිත ලකුණු 32ක් ලබා සිටි වෙස් ඩර්ස්ටන් ගේ කඩුල්ල දවාගත්තත්, රාජිතගේ මෙන්ම අනෙක් වේග පන්දු යවන්නන් වූ තිසර පෙරේරා සහ මොහොමඩ් දිල්ශාඩ්ගේද පන්දු වාරයකට ලකුණු 8 – 9 අතර වේගයක් රඳවා ගැනීමට ඩර්බිශයර් පිතිකරුවන් සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ස්ලේටර් පන්දු 116කින් වේගවත් ලකුණු 124ක් රැස් කළේ හතරේ පහර 16ක්ද ඇතුලත්වයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයන් අතර මුල් තැනක් ගන්නා 25 හැවිරිදි ලක්ෂාන් සඳකැන් ඩර්බිශයර් ඉනිමේ තිරිංග ක්‍රියාත්මක කළේ මුල් පිතිකරුවන් 6 දෙනාගෙන් 5දෙනෙක්වම නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනි. ඔහු තම පන්දුවාර 9 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 40ක් පමණයි.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ රොබ් හෙමින්ග්ස් ලබාගත් වේගවත් ලකුණු 25 හේතුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දුවාරයකට ලකුණු 6.5 ඉක්මවූ ඉලක්කයක් ලබා දෙන්නට ඩර්බිශයර් කණ්ඩායමට හැකිවිය.

ඩර්බිශයර් ප්‍රාන්තය – 281/7 (43) – [බෙන් ස්ලේටර් – 116, තෝමස් වුඩ් – 44, වෙස් ඩර්ස්ටන් – 32, රොබ් හෙමින්ග්ස් – 25*, ලක්ෂාන් සඳකැන් – 5/40, කසුන් රාජිත – 1/72, තිසර පෙරේරා – 1/49]

පිළිතුරු ඉනිම ආරම්භ කළ ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පිතිහරඹයේ නිරත වුයේ ඩර්බිශයර් පන්දු යවන්නන් තඹයකටවත් මායිම් නොකරමිනි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 161ක සබඳතාවක් ගොඩනගන්නට වැය කළේ පන්දු 102ක් පමණි. දික්වැල්ල පන්දු 47 කින් ලකුණු 67ක් ලබා ගත්තේ හතරේ පහර 10ක් සහ හයේ පහරක් ද ඇතුලත්වයි.

තම පළමු පෙළ එක්දින දිවියේ දෙවන ශතකය ලෙසින් ධනංජය ද සිල්වා රැස් කළ ලකුණු සංඛ්‍යාව 119ක්. පන්දු 81 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිම හතරේ පහර 17කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය. මහේල උඩවත්තට තම සුපුරුදු වේගය සොයා ගැනීමට නොහැකි වුවත්, භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා A ජයග්‍රහණය ඉක්මන් කළේ පන්දු 28ක් තුළ නොදැවී ලකුණු 48ක් රැස් කරමිනි.

මේ අනුව පන්දුවාර 10කටත් වඩා ඉතිරිව තිබියදී තරගය ජයග්‍රාහීව අවසන් කරන්නට ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකා A – 284/3 (32.2) – [ධනංජය ද සිල්වා – 119, නිරෝෂන් දික්වැල්ල – 67, භානුක රාජපක්ෂ – 48*, මහේල උඩවත්ත – 22, වෙස් ඩර්ස්ටන් – 1/37, ග්‍රෙග් කෝක් – 1/42 බෙන් කොට්න් – 1/50]

තරග ප්‍රතිඵලය – ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

ශ්‍රී ලංකා, පාකිස්තාන සහ එංගලන්ත A කණ්ඩායම් අතර එක්දින තරගාවලිය අනිද්දා (18) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය අරඹමින් පළමු තරගය සංචාරක කණ්ඩායම් අතර පැවැත්වෙන්නේ එංගලන්තයේ චෙල්ට්නම් හීදී.