නව වසර ආරම්භයේදීම ඇමති ක්‍රීඩා සංගම් වලට දෙහි කපයි

509
Sports Calendar launched by Sports Minister featured

2017 නව වසර බලාපොරොත්තුවේ වර්ෂයක් බවට පත් කරමින් වසර ගණනාවක් පුරා අක්‍රීයව පැවති ක්‍රීඩා දින දර්ශනයට නැවත පණ දෙන්නට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙමගින් මෙරට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසවු ඝට්ටනයකින් තොරව පැවැත්වීමට මහත් පිටිවහලක්  ලැබෙන අතර ක්‍රීඩකයන් හට තම පුහුණුවීම් සහ පෝෂණ රටාවන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කර ගැනීම සඳහාද නිසි මග පෙන්වීමක් ලැබෙනු ඇති.

මෙරට ක්‍රීඩා ඉසවු සංවිධානය සඳහා නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාව කලක පටන් පැවති අතර ප්‍රධාන ක්‍රීඩා ඉසව් අත‍ර සිදුවූ ඝට්ටන සඳහා  උදාහරණය වන්නේ මෙරට පැවැත්වෙන  ජාත්‍යන්තර ඉසව්වක් වන LSR කලම්බෝ මැරතන් තරගය පැවැත්වෙන අතරම ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් උභතෝකෝටික ගැටලුවයි.

කෙසේ වෙතත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අප්‍රතිහත කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසර සඳහා වූ ක්‍රීඩා දින දර්ශනය නිකුත් වී තිබේ. මෙම දින දසුන  තුල මෙරට ක්‍රීඩා සංගම් 61ටම අදාලව පාසල් ක්‍රීඩා තරග වල පටන් ජාත්‍යන්තර ඉසවු දක්වා සියලු තොරතුරු අන්තර් ගත වීම ක්‍රීඩකයන්, පුහුණුකරුවන්ගේ සිට ක්‍රීඩා නිලධාරීන් විනිසුරුවන් දක්වා පමණක් නොව ක්‍රීඩා සන්නිවේදකයන් සහ මාධ්‍යවේදීන් හට  පවා අතිශය වැදගත් ප්‍රකාශනයකි. එබැවින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාවලිය අතිශය ප්‍රශංසනීය උත්සාහයක් බවද නොවලහා ප්‍රකාශ කල යුතුය.

මෙම දින දර්ශනය එලි දැක්වීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරි වසර වලදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සකස් කළ ක්‍රමවේදයන් කිහිපයක් පිළිබඳවද අනාවරණ කරන ලදී. 2020 ඔලිම්පික් උළෙල සඳහා මේ වසරේ සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කිරීම ඒ අතරින් ප්‍රධාන වෙයි. මෙරට මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය වන මාස කිහිපයක් තුල ඔලිම්පික් සංචිත පිහිටුවීම අසාර්ථක වැඩපිළිවෙලක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා නියෝග කළේ, මේ ජනවාරි මාසය අවසන් වීමට පෙර ඔලිම්පික් සංචිතයට අමතරව, ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සංචිතයක් සහ ජාතික සංචිතයක් ද පිහිටුවා අවසන් කල යුතු බවයි.

මේ අතර ක්‍රීඩා සංගම් නිලධාරීන්ගේ ඇල්මැරුණු ස්වභාවය මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ක්‍රීඩා පනතට අලුතින් එක් කල සංශෝධන වලට අනුකූලව විශේෂ මහා සභා රැස්වීම් පවත්වන දිනය දැනුම් දෙන ලෙස ක්‍රීඩා සංගම් වෙත දැනුම් දුන්නද ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉතා සීමිත සංගම් සංඛ්‍යාවක් පමණක් බව මෙහිදී ඔහු ප්‍රකාශ කලේ ප්‍රතිචාර දැක්වූ සංගම් වල නම් ලැයිස්තුවත් ඉදිරිපත් කරමිනුයි. කෙසේ වෙතත් වඩාත්ම කනගාටුවට කරුණ වන්නේ සියලුම ක්‍රීඩා සංගම් වල සංචිත ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු සකස් කරමින් සිටියද ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමට බොහෝ ක්‍රීඩා සංගම් වලට උවමනාවක් නොතිබීමයි.

මේ අතර මෙම උත්සවය අතරතුර ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් ඇගයීමේ විශේෂ මුදල් ත්‍යාග ප්‍රදානයක්ද සිදු කෙරුණි. එහිදී වැඩි අවධානයක් දිනා ගත්තේ බර්මින්හැම් හීදී පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ඉහලටම  ඔසවා තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමයි. චමිල් කුරේ සහ නිශාන්ත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම මෙම තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගන්නට සමත් විය. ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම සවි එසවීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයන් ඇගයීමටද ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

Sports Calendar launched by Sports Ministerදියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය සියලු පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් අනුමත වී ඇති බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ නුදුරේදීම ක්‍රීඩා වෛද්‍ය ආයතනය නවීන ජෛව – යාන්ත්‍රණ (bio mechanical) පර්යේෂණ පවා සිදුකල හැකි මට්ටමට දියුණු කරන බවයි.

තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට