චන්දිමාල් ඇතුළු නැගී එන ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව මෙල්ල කරයි

4698

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ පළමු තරගයේ දී ලකුණු 215ක ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

දික්වැල්ල එළියට චන්දිමාල් ඇතුලට

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත එකම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා තරග…..

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 376ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 161ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් සමඟ ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 ජාත්‍යන්තර වරම් ලැබූ ක්‍රීඩකයන් 7 දෙනෙක්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග වැදුණ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායමේ ජාතික කණ්ඩායමක් නියෝජනය කළ කිසිදු ක්‍රීඩකයෙක් සිටියේ නැහැ. ඔවුන්ගේ වැඩිමල්ම ක්‍රීඩකයාත් 25 හැවිරිදි වූ අතර කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම විවිධ කාලයන්වල වයස අවුරුදු 19න් පහළ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම නියෝජනය කර තිබුණා.    

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පළපුරුදු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසියේ ටෙස්ට් පිතිකරුවන් ලෙසින් නම් ලැබූ සධීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න යි. ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට ලකුණු 252ක සබඳතාවක් එක් කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දිමුත් කරුණාරත්න පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 125ක් ලබා සිටිය දී දැවී ගියා. අනතුරුව සධීර සමරවික්‍රමට එක් වූයේ නායක දිනේෂ් චන්දිමාල්. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් සධීර සමරවික්‍රම පන්දු 127ක දී හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 141ක් ලබා ගෙන දැවී ගියා.

කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි

කුසල් පෙරේරා ආරම්භ කළ මැජික් ඉනිම, තිසර පෙරේරා සහ දසුන් ශානක විසින් තව දුරටත් පවත්වා ගෙන යෑමත්, එම උත්සාහයන් සඵල කර ගැනීම…..

පන්දුවට පහර දීමට ආ පිතිකරුවන් අතරින් අසාර්ථක වූයේ 20 හැවිරිදි සම්මු අශාන් පමණයි. ඔහු තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියා.

අනතුරුව ඉනිම අවසාන වන විට දිනේෂ් චන්දිමාල් පන්දු 38ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද, අසේල ගුණරත්න පන්දු 19ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ නොදැවුණ සබඳතාව ලකුණු 77ක්.

පන්දු යැවීමේ දී 20 හැවිරිදි ලුතෝ සිම්පලා ලකුණු 75කට කඩුලු 2ක් දවා ගත්තා. අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය 23 හැවිරිදි ග්‍රෙගරි මලෝක්වානා  සතු වුනා.

34 වැනි පන්දුවාරය දක්වා ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 19 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු මැතිව් බ්‍රෙස්ට්කි. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. ඔහු සමඟ අනෙක් අන්තය ආරම්භ කළ 19 හැවිරිදි වමත් පිතිකරු ජිවෙශාන් පිල්ලේ පන්දු17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට වූ සබඳතාව ලකුණු 41ක්. එය ඔවුන්ගේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වුනා.

23 හැවිරිදි ඔන්කේ නියාකු මැද පෙළින් පිටියට පිවිස ලකුණු 29ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම පන්දු 37කින් සමන්විත වූ අතර හතරේ පහර 4ක් ඊට අයත් වුනා.

ලකුණු 133කට කඩුලු 9ක් දැවී ගොස් තිබිය දී අවසන් කඩුල්ලට එක් වූ 24 හැවිරිදි කර්වින් මුන්ග්රෝ සහ ලුතෝ සිම්පලා ලකුණු 28ක සබඳතාවක් එක් කළා. මුන්ග්රෝ පන්දු 15ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට සිම්පලා නොදැවී ලකුණු 3ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ 20 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යැවූ නිශාන් පීරිස් ය. ඔහු දකුණු අප්‍රිකා පිතිකරණ ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙමින් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව වඩාත් පළපුරුදු ක්‍රීඩකයන් වූ ජෙෆ්රි වැන්ඩර්සේට කඩුලු 2ක් ද, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ෂෙහාන් මධුශංකට කඩුල්ල බැගිනුත් හිමි වෙමින් දකුණු අප්‍රිකා ඉනිම නිමා වූවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 11 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම; කඩුලු 3ක් දැවී 376 (50.0) සධීර සමරවික්‍රම 141, දිමුත් කරුණාරත්න 125, දිනේෂ් චන්දිමාල් නොදැවී 58, අසේල ගුණරත්න නොදැවී 35, ලුතෝ සිපම්ලා 2/75

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම; සියලුම දෙනා දැවී 161 (33.1) ජිවේශාන් පිල්ලේ 18, මැතිව් බ්‍රෙස්ට්කි 41, ඔන්කේ නියාකු 29, කර්වින් මුන්ග්රෝ 27, නිශාන් පීරිස් 5/36, ජෙෆ්රි වැන්ඩර්සේ 2/48

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ලබන අතර තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<