වෝනර් දවාගැනීමට ස්මිත් රැකගත් සුපිරි උඩපන්දුව

278

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45වන තරගය ඊයේ (27) රාත්‍රියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර් හිදී පැවැත්වුනි. එහිදී ස්ටීව් ස්මිත් රැකගත් සුපිරි උඩ පන්දුව සහ සංජු සැම්සන් දියත් කළ දක්ෂ පිතිකරණය නිසා තරගය කඩුලු 7කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකිවිය.

ලසිත් මාලිංගගෙන් සුපිරි කඩුලු දඩයමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44වන තරගය ලෙස ඊයේ (26) රාත්‍රියේ මුම්බායි ඉන්දියන්ස්…

කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නව නායක ස්ටීව් ස්මිත් පළමුව පන්දුවට පහරදීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නේය. තරගාවලියේ මේ දක්වා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩාකළ ජොනී බෙයාර්ස්ටෝව් (ලකුණු 445 – මේ වනවිටත් තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා) නැවතත් සිය මව්රට වන එංගලන්තය බලා පිටව ගිය නිසා මේ තරගයේ දී වෝනර් සමඟ ආරම්භය ලබාගත්තේ නවසීලන්ත ක්‍රීඩක විලියම්සන්ය.  

ඔවුන් දෙදෙනා ගොඩනැගූ ලකුණු 28ක සබඳතාවයට පසුව මනිෂ් පාන්ඩ්‍යා දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 75ක සාර්ථක සබඳතාවය අවසන් වූයේ ඔශේන් තෝමස් එවූ පන්දුවක් හමුවේ ලකුණු 37ක් ලබාසිටි වෝනර් දැවීයාමත් සමඟිනි. වෝනර් ඉතාමත් ක්‍රමානුකූලව ඔවුන්ගේ ඉනිම ගොඩනංවමින් පැමිණි නමුත් මිඩ් ඕෆ් කලාපයේ සිටි ස්ටීව් ස්මිත් පිටුපසට දිවගොස් ලබාගත් සුපිරි උඩ පන්දුව නිසා ඔහුගේ ජාතික කණ්ඩායමේ මිත්‍රයාද වූ වෝනර් IPL තරගාවලිය තුළ ක්‍රීඩා කරනු ලබන අවසන් ඉනිම දෙකෙන් එකක් නිමා විය.

ඒ රැකගත් සුපිරි උඩ පන්දුව පහතින්,

ස්මිත් ලබාගත් එම සුපිරි ගණයේ උඩ පන්දුව, තරගයේ ප්‍රතිඵලයට දැඩි බලපෑමක් එල්ල වන්නට වූයේ සන්රයිසස් කණ්ඩායමේ මැදපෙළ සහ අවසන් පෙළ කඩුලු 6ක් ඉතාමත් අවම ලකුණකට දැවීගිය හේතුවෙනි. වෝනර්ගේ දැවී යාමට පසුව හයිද්‍රබාද් කණ්ඩායමේ පිතිකරුවන් පන්දු 47කට මුහුණදී කඩුලු 6ක් දැවී රැස් කරගත්තේ ලකුණු 57ක් පමණි.  

මනිෂ් පාන්ඩ්‍යා හතරේ පහර 9ක් එල්ල කරමින් පන්දු 36කදී වාර්තා කරගත් වේගවත් ලකුණු 61 සවියෙන් හයිද්‍රාබාද් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් ලබාගෙන යම් අභියෝගයක් දිය හැකි ලකුණු පුවරුවක් වෙත ළඟා විය.   

පිතිකරුවන් හට වඩාත් උචිත මෙම තණතීරුව මත ලකුණු 161ක ඉලක්කයක් හඹායාම වෙනුවෙන් පිටියට පැමිණි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන අජින්ක්‍යා රහනේ සහ ලියාම් ලිවින්ග්ස්ටන් ලකුණු 78ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 55ක් තුළයි. එම සබඳතාවය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා අඩිතාලමක් බවට පරිවර්තනය කරගැනීමට සංජු සැම්සන් සමත් වූයේ පන්දු 32ක් තුළ නොදැවී ලකුණු 48ක් ලබාගෙනයි. එම ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. අවසානයේ කඩුලු 7ක ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අවස්ථාව ලැබුණි.

මෙවර ලෝක කුසලානයේ නායකයෝ

2019 ICC ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්…

“මං උඩ පන්දුව රැකගන්න පනින කොට මගේ ඇස් දෙක තිබ්බේ පන්දුවේ. උඩ පන්දුව අල්ලලා ඉවරවුනාමයි මං දැනගත්තේ මගේ වැලමිට බිම වැදුනා කියලා. තරගයට පස්සේ මං ගත්ත උඩ පන්දුව බලනකොට තමයි මට තේරුනේ මම ගොඩක් දුර දුවලා කියලා. තරගයක ඉන්නකොට මේ වගේ ඕනෑම අමාරු දෙයක් කරන්න පුළුවන් වෙනකොට තමයි ක්‍රීඩකයෙක්ගේ වටිනාකම වැඩි වෙන්නේ.” යැයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් නායක ස්ටීව් ස්මිත් තරගයට පසුව මාධ්‍ය වෙත පැවසීය.

“මමයි වෝනර්යි මෙවර IPL තරගාවලියේ ක්‍රීඩා කරන්නේ තවත් එක් තරගයක් විතරයි. මොකද අපේ ජාතික කණ්ඩායම සමඟ දැන් එකතු වෙන්න ඕනේ. මොකද ක්‍රිකට් ලෝක කුසලානය දැන් ළඟටම ඇවිල්ලා. වෝනර් ගැන කියනවානම් ඔහු තමයි දැනටත් මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා, ඔහු ලකුණු 611ක් වගේ ලබාගෙන ඉන්නේ. ඒක නිසා ලෝක කුසලානයට ඔහු ඉතාමත් හොඳ සූදානමකින් ඉන්නවා කියලා මං හිතනවා.” යැයි ස්මිත් වැඩිදුරටත් පැවසීය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලබාගත් මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබාගන්නා ලදි. මේ දක්වා ක්‍රීඩාකළ තරග 12න් තරග 5ක් ජයග්‍රහණය කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වනවිට එම ප්‍රසාද ලකුණු සටහනේ 6වන ස්ථානයේ පසුවෙයි.

                                       >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<