වසර හතරකට පසු එක්දින ජයක් සොයා ශ්‍රී ලංකාව දඹුල්ලට

678

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (28) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනවා.

“ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව මැතිව්ස්”- සංගක්කාර

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සාර්ථක වීමට නම් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බව සංගක්කාර ප්‍රකාශ කර සිටියා. ඔහු මේ අදහස් දැක්වූයේ ICC නිල වෙබ්…

ශ්‍රී ලංකා කණ්ඩායමක් හා දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ නිමා වූ ශූරයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීයි. ඊට පෙර 2016 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා මුණ ගැසුණු අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට 5-0ක් ලෙස පරාජය විය. එසේම ශ්‍රී ලංකාව වර්ෂ 2004 පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සංචාරක දකුණු අප්‍රිකාව තරග 5-0ක් ලෙස පරාජය කළා.

මුහුණට මුහුණ

වසර 26ක් ඉපැරණි දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල එකිනෙකා එක්දින ක්‍රිකට් තරග 68ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 29ක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 35ක් ජයග්‍රහණය කර එහි පෙරමුණේ සිටී. එසේම තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.

අවසන් ජයග්‍රහණය

ශ්‍රී ලංකාව 2014 ජූලි මස 9 වැනිදාට පසුව පවත්වා ඇති එකඳු එක්දින ක්‍රිකට් තරගයකදීවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර නැහැ. තිලකරත්න ඩිල්ශාන් පිත්තෙන් ලකුණු 86ක් හා පන්දු යැවීමෙන් කඩුලු 3ක් දවාගෙන තරගයේ වීරයා බවට පත්වුනා. නමුත් දකුණු අප්‍රිකාව එංගලන්තයේ පැවැත්වූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරගයක දී ශ්‍රී ලංකාව ලකුණු 96කින් පරාජය කළ අතර එම තරගයේ දී ඉම්රාන් තාහීර් කඩුලු 4ක් දවාගෙන ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමේ නිසා ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

ලොකු ඉනිම් හා පොඩි ඉනිම්

2017 වසරේ පෙබරවාරි 10 වැනිදා සෙන්චූරියන් හිදී පැවති තරගයක දී දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 384 දෙරටේ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල වාර්තා වී ඇති වැඩිම ලකුණයි. ඒ තරගය ලකුණු 88කින් ශ්‍රී ලංකාවට පරාජය වෙන්න වුනත් තරගයේ අවසානය දක්වාම ඉතාමත් හොඳ සටනක්  දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනා. වැඩිම ලකුණේ වාර්තාව දකුණු අප්‍රිකාව දෙසට යද්දී අඩුම ලකුණේ වාර්තාව ලියවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නම ඉදිරියෙනි. 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා පාර්ල් හිදී පැවති තරගයක දී ශ්‍රී ලංකාවට ඒ අවාසනාවන්ත සිදු වීමට මුහුණ දෙන්න වුන අතර තරගය ලකුණු 258කින් පරාජය වෙන්නත් සිදු වුනා.

ධනුෂ්කට වැඩ වරදී; දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි වේ

ක්‍රීඩකයින්ගේ ආචාර්ය ධර්ම පද්ධතිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවතින ගිවිසුම කඩ කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර…

සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර වසර 26ක් ඉපැරණි එක්දින ක්‍රිකට් තරග ප්‍රමාණය තුල මෙතක් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව  එක්දින ක්‍රිකට් තරග 44ක් ක්‍රීඩා කර ලකුණු 1789ක් ලබාගෙන ඇත්තේ 45.87ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ ෂෝන් පොලොක් වන අතර ඔහු ශ්‍රී ලංකාව සමඟින් එක්දින ක්‍රිකට් තරග 35කට සහභාගී වෙමින් කඩුලු 51ක් දවාගෙන ඇත.

ප්‍රහාරාත්මක පිතිකරුවන්

  • උපුල් තරංග

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවෙක් වන වමතින් පිත්ත හසුරුවන තරංග දකුණු අප්‍රිකාව සමගින් තරග 18කට සහභාගී වී ලකුණු 512ක් ලබාගෙන ඇත්තේ 30.11ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. ඊට අමතරව ශතකයක් හා අර්ධ ශතක තුනක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු ලබාගෙන ඇත. ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දත්ත සලකා බැලූ විට එක්දින තරග 223කදී ලකුණු 6780ක් ලබාගෙන ඇත්තේ ශතක 15ක් හා අර්ධ ශතක 37ක් වාර්තා කරගනිමිනි.

.

.

.

  • හෂීම් අම්ලා

දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු වන අම්ලා හට නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී නම් සාර්ථක වීමට අවස්ථාව නොලැබිණි. ඒ නිසා හෙටින් ආරම්භ වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තුල ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් වැඩි යම් කරනු ඇතැයි සිතේ. ශ්‍රී ලංකාව සමඟින් එක්දින ක්‍රිකට් තරග 16කට සිය දායකත්වය දක්වා ඇති අම්ලා 60.13ක ඉහළ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු 902ක් රැස්කරගෙන ඇත.

  • නිරෝෂන් දික්වැල්ල

එක් වසරක් තුල දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 6ක් ක්‍රීඩා කර ලකුණු 238ක් ලබාගෙන අත්දැකීම් සපිරුණු දික්වැල්ල හෙට තරගයේ ක්‍රීඩා කළොත් එය දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු සිය රටේ දී සහභාගී වන පළමු එක්දින ක්‍රිකට් තරගය වනු ඇත. දික්වැල්ල දකුණු අප්‍රිකාවට එරෙහිව අර්ධ ශතක දෙකක් ලබාගෙන තිබේ.

.

  • ඩේවිඩ් මිලර්

ප්‍රබල මැදපෙළ පිතිකරුවෙක් ලෙස හැඳින්වීමට හැකි මිලර්ගේ එක්දින ක්‍රිකට් දිවියේ තරග 12ක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ක්‍රීඩා කර ලකුණු 301ක් ලබාගෙන ඇත්තේ 60.20ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. අමතරව එක ශතකයක් හා අර්ධ ශතකයක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගෙන ඇත.

තර්ජනාත්මක පන්දු යවන්නන්

  • සුරංග ලක්මාල්

දකුණතින් වේගපන්දු යවන ලක්මාල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය සතු අත්දැකීම් බහුල ප්‍රබල වේගපන්දු යවන්නෙකි. ඔහු දකුණු අප්‍රිකාව සමඟින් තරග 6ක් ක්‍රීඩා කර කඩුලු 9ක් දවාගෙන ඇත්තේ 27.77ක් කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එසේම එක්දින ක්‍රිකට් තරග 75කට ක්‍රීඩා කර ඇති ලක්මාල්ට සිය එක්දින ක්‍රිකට් දිවියේ කඩුලු 100 සපුරා ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 2ක් පමණි.

.

  • කගීසෝ රබාඩා

ලොව එක්දින ක්‍රිකට් පන්දු යවන්නන් වර්ගීකරණයේ 9 වන තැන දිනාගෙන සිටින රබාඩා දකුණු අප්‍රිකාව සතු වේගපන්දු යවන්නන් අතරින් සිටින තවත් එක් ප්‍රබල වේගපන්දු යවන්නෙක් පමණි. දකුණතින් වේගපන්දු යවන වයස අවුරුදු 23ක් වන මොහු ශ්‍රී ලංකාව සමඟ එක්දින ක්‍රිකට් තරග 6ක් ක්‍රීඩා කර කඩුලු 7ක් දවාගෙන ඇති අතර මේ තරගාවලිය තුල ඔහු එක්දින ක්‍රිකට් තරග දෙකක ක්‍රීඩා කළහොත් ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 50ක් නියෝජන කළ ක්‍රීඩකයින් අතරට පිවිසෙනු ඇත.

  • අකිල දනංජය

දකුණතින් දඟපන්දු යවන අකිල දනංජය දකුණු අප්‍රිකාව සමඟින් එකඳු එක්දින ක්‍රිකට් තරගයක් සඳහා හෝ ක්‍රීඩා කර නොමැත. වයස අවුරුදු 24ක් වන මේ යොවුන් ක්‍රීඩකයා මේ දක්වා එක්දින ක්‍රිකට් තරග 19ක් ක්‍රීඩා කරමින් කඩුලු 21ක් දවාගෙන ඇත්තේ 37කට ආසන්න කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

.

.

  • තබ්‍රයිස් ශම්සි

සිය පියාගේ හදිසි වියෝවෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ  එක්වූ ශම්සී ශ්‍රී ලංකාව සමඟ එක් එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇති නමුත් කඩුලු දවා ගැනීමට ඔහුට අවස්ථාව ලැබී නැත. නමුත් ජාත්‍යන්තර එක්දින  ක්‍රිකට් තරග 7කදී කඩුලු 7ක් දවා ගැනීමට ඔහු සමත් වී ඇත.

 

රංගිරි දඹුලු තණතීරුව හා කාලගුණය

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග දෙකම (2004 වසරේ දී) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර තරග දෙකම ජයග්‍රහණය කර ඇත්තේ දෙවනුව පන්දුවට පහර දෙමිනි. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනගත්තොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත. කාලගුණය සලකා බැලීමේ දී පළමු එක්දින ක්‍රිකට් තරග දෙකම සඳහා ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

  සංචිත  

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, අකිල දනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය

අතිරේක ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිශාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩර්සේ

දකුණු අප්‍රිකා එක්දින සංචිතය – ෆෆ් ඩියු ප්ලේසී (නායක), හෂීම් අම්ලා, ජුනියර් දලා, ක්වින්ටන් ඩී කොක්, ජේ. පී. ඩුමිනි, ඩේවිඩ් මිලර්, එයිඩ්න් මාක්‍රම්, රීසා හෙන්ද්‍රිකස්, හෙයින්රිච් ක්ලාසෙන්, කේශව් මහරාජ්, වියාන් මුල්ඩර්, ලුන්ගි නිගිඩි, වර්නෑන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි, ඇන්ඩි පෙලුක්වායෝ.

අවසන් නිගමනය

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3842ක් සමඟ ප්‍රසාද ලකුණු 113ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3302ක් සමඟ ප්‍රසාද ලකුණු 77ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

තරග කාලසටහන

  • ජූලි 29: පළමු එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා තරගය)
  • අගෝස්තු 1: දෙවන එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)
  • අගෝස්තු 5: තෙවන එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය (දිවා තරගය)
  • අගෝස්තු 8: සිව්වන එක්දින තරගය  (දිවා/රාත්‍රී තරගය)
  • අගෝස්තු 12: පස්වන එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය  (දිවා/රාත්‍රී තරගය)

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් (29) ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<