ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගවල දී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඒ දඹුල්ල සහ නුවර කණ්ඩායම්වලට එරෙහිව ය.
දිනයේ සුවිශේෂී දක්ෂතාවක් දැක්වූ ක්‍රීඩකයා වූයේ කොළඹ කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ය. ඔහු නුවර ක්‍රීඩකයන්ට එරෙහිව නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේ පන්දු 69කට පමණක් මුහුණ දෙමිනි. පන්දු යැවීමේ දී එම කණ්ඩායමේ ම දකුණතින් දඟපන්දු යවන වනිඳු හසරංග කඩුලු 4ක් ලබා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔවුන් දෙදෙනාගේ සුපිරි දක්ෂතා නුවර ක්‍රීඩකයන්ගේ පරාජයට හේතු වූ අතර ඔවුන් අද ලැබුවේ තරගාවලියේ පිට පිට ලැබූ සිව්වැනි පරාජයයි.
උපුල් තරංග සමඟින් කෝඩුකාරයෝ ලකුණු අතරට
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ …
ගාල්ල සහ දඹුල්ල අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් ගාල්ල ක්‍රීඩකයෝ ලකුණු 15ක ජයග්‍රහණයක් වාර්තා කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ විසඳුම තීරණය වීමෙනි.
ක්‍රීඩාංගණයේ පැවති තෙත් ගතිය හේතුවෙන් අද තරගය ප්‍රමාද වී ආරම්භ වූයේ පන්දුවාර 47ක තරගයක් ලෙසිනි.
කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 287ක් පමණි. ඒ තම ඉනිමේ තවත් පන්දුවාර 3ක් ඉතිරිව තිබිය දී ය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සචිත්‍ර සේනානායක ය. ඔහු පන්දු 60කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය.
කඩුලු 5ක් දැවී 133ක් තිබූ ඉනිම ගොඩ ගනු ලැබුවේ සචිත්‍ර සේනානායක සහ ටී. එන්. සම්පත් ය. ඔවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 90කි. ටී. එම්. සම්පත් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය.
මොවුන් දෙදෙනාට අමතරව නිශාන් මධුශ්ක පන්දු 59ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් රැස් කළේය.
කඩුලු ලබා ගැනීමේ දී දසුන් ශානක සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 බැගින් දවා ගත් අතර ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් දවා ගත්තේය.
හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි
ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා ලබන මස කොදෙව් දූපත් හි සංචාරයක නිරත වන…
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාලූ ක්‍රීඩකයෝ පන්දුවාර 37.3ක් අවසානයේ තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට ලකුණු 218ක් ලබා සිටියේය. ඒ වෙද්දී ගාලු ක්‍රීඩකයන් ජයග්‍රහණය වෙනුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලබා ගත යුතුව තිබුණේ ලකුණු 204ක් පමණි.
ගාලු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් රමිත රඹුක්වැල්ල සහ උපුල් තරංග ලකුණු 70ක් රැස් කර සිටිය දී උපුල් තරංග ලකුණු 57කට දැවී ගියේය. ඔහු දැවී යන විට පන්දු 26ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට එක් කර තිබුණි. රමිත රඹුක්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 31කි.
තරගය නතර කරන විට සම්මු අශාන් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර දසුන් ශානක පන්දු 33ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා සිටියහ.
ගාලු ඉනිම විනාශ කිරීම සඳහා දඹුලු නායකයා පන්දු යවන්නන් 9 දෙනෙක් උපයෝගී කර ගත්ත ද ඔවුන්ගෙන් සාර්ථක වූයේ සචිත්‍ර සේරසිංහ පමණි. ඔහු කඩුලු 2ක් දවා ගත්තේය.
දඹුල්ල කණ්ඩායම; සියලුම දෙනා දැවී 287 (47.0): රුවිඳු ගුණසේකර 25, නිශාන් මධුශ්ක 44, අශාන් ප්‍රියංජන් 38, ටී. එන්. සම්පත් 43, සචිත්‍ර සේනානායක 65, ලහිරු මධුශංක 25, ධම්මික ප්‍රසාද් 2/52, දසුන් ශානක 3/63, මාලින්ද පුෂ්පකුමාර 3/27
ගාල්ල කණ්ඩායම; කඩුලු 3ක් දැවී 218 (37.3): රමිත රඹුක්වැල්ල 31, උපුල් තරංග 57, ලහිරු මිලන්ත 31, සම්මු අශාන් නොදැවී 48, දසුන් ශානක නොදැවී 38, සචිත්‍ර සේරසිංහ 2/23
නුවර සහ කොළඹ අතර තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනා ගත් නුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 309ක් ලබා ගත්හ. එම ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ ලහිරු තිරිමාන්න ය. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේය.
අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්
ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව එළඹෙන ජුනි මාසයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩයමේ කොදෙව් …
එම ඉනිම කැපී පෙනෙන ඉනිම වූවත් ආරම්භක පිතිකරුවන් වූ කමිඳු මෙන්ඩිස් සහ ශෙහාන් ජයසූරිය පළමු කඩුල්ලට ලකුණු 102ක් රැස් කරමින් ඉනිමේ ආරම්භය ස්ථාවර කිරීමට සමත් වූහ. පළමු කඩුල්ල ලෙසින් කමිඳු මෙන්ඩිස් පන්දු 65ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් රැස් කරගෙන සිටිය දී දුවද්දී දැවී ගිය අතර ශෙහාන් ජයසූරිය පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 81ක් වාර්තා කළේය.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චාමර සිල්වා සහ ලහිරු තිරිමාන්න ලකුණු 95ක සබඳතාවක් ගොඩ නැගූහ. චාමර සිල්වා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය.
පිටියට පිවිසි අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට ඉඩ නොදීමට නුවර පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව හොඳම පන්දු යැවීම වාර්තා කළේ සචිත් පතිරණ ය. ඔහු ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව ධනුශ්ක ගුණතිලක ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නුවර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 217කි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනුශ්ක ගුණතිලක ය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිද්දී, චාමර කපුගෙදර පන්දු 43ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී වනිඳු හසරං ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත් අතර ශෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.
කොළඹ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 309 (50.0): කමිඳු මෙන්ඩිස් 47, ෂෙහාන් ජයසූරිය 81, චාමර සිල්වා 61, ලහිරු තිරිමාන්න 90, ධනුශ්ක ගුණතිලක 2/39, සචිත් පතිරණ 3/41
නුවර කණ්ඩායම; සියලුම දෙනා දැවී 217 (48.3): ධනුශ්ක ගුණතිලක 59, චාමර කපුගෙදර 44, චරිත් අසලංක 21, මිනෝද් භානුක 26, ශෙහාන් ජයසූරිය 2/43, වනිඳු හසරංග 4/43, තිසර පෙරේරා 2/25
තරගාවලියේ දෙවැනි වටයේ අවසාන තරග මේ මස 17 වැනිදා පැවැත්වෙන අතර එහි දී දඹුල්ල සහ නුවර කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද, කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද පැවැත්වීමට නියමිත ය.
මේ තරග අතරින් කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය සජීවී ව ඔබ වෙත සමීප කරවීමට ThePapare.com කටයුතු යොදා ඇත.