ශෙහාන් ජයසූරියගෙන් නොදැවී ලකුණු 218ක්

2434
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය ශක්තියෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග 5ක් අද (15) දෙවැනි දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන් දේශීය පිටියේ අණසක පැතිරවූ අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වන්නට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කරගෙන සිටින ශෙහාන් ජයසූරිය සමත් විය.

පසුගිය ලිපි: ඩිල්ශාන් මුණවීරට ද්විත්ව ශතකයක් මඟහැරෙයි

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

ඊයේ දිනය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 73ක් ලබා සිටි බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිම, අද උදෑසන ලකුණු 136කට සීමා විය. ඒ ලකුණු 291ක් ලෙස සටහන් වූ හලාවත මේරියන්ස් පළමු ඉනිමට පිලිතුරු වශයෙනි. හලාවත පිළ නියෝජනය කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර අද ලකුණු 78කට කඩුලු 5ක් බිඳ හෙලමින් තම පළමු පෙළ දිවියේ 40 වැනි කඩුලු 5 බැගින් දවාලීම වාර්තා කළේය.

ලකුණු 155ක ඉදිරියක් සමගින් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසුණු හලාවත පිතිකරුවන්, දෙවැනි දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 379ක් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවේ. වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය අද හතරේ පහර 26ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 218ක් රැස් කරමින් තම පළමු පෙළ දිවියේ ප්‍රථම ද්විත්ව ශතකයකට හිමිකම් කීවේය. ඔහුගේ මෙම දැවැන්ත ඉනිමට වැයවුනේ පන්දු 194ක් පමණි. මේ වන විට හලාවත ක්‍රීඩකයින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට වඩා ලකුණු 534ක් ඉදිරියෙන් පසුවන නිසා හෙට උදෑසනම ඔවුන් සිය ඉනිම අත්හිටුවා පූර්ණ තරග ජයග්‍රහණයක් සඳහා උත්සාහ දරනු ඇත.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 60.5): අරෝෂ් ජනෝද 80, ශෙහාන් ජයසූරිය 49, මහේල උඩවත්ත 38, සචිත්‍ර සේරසිංහ 25, ලහිරු ප්‍රනාන්දු 6/93, විනෝද් පෙරේරා 2/30, මලිත් ද සිල්වා 2/48.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 53.2): අදීශ නානායක්කාර 32, මලින්ද පුෂ්පකුමාර 5/78, සචිත්‍ර සේරසිංහ 3/29, මධූක ලියනපතිරණගේ 2/20.

හලාවත මේරියන්ස් (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 379 (පන්දුවාර 67): ශෙහාන් ජයසූරිය 218*, මහේල උඩවත්ත 63, සචිත්‍ර සේරසිංහ 55.


ගාලු ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

ඊයේ දිනය වෙනුවෙන් තරගය නතර කරන විට ගාලු පිතිකරුවන් ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 128ට ප්‍රතිචාර වශයෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 121ක් ලබා සිටි SSC පිතිකරුවන් අද තම ප්‍රථම ඉනිම ලකුණු 379ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් වමත් පිතිකරු මිනෝද් භානුක හතරේ පහර 21ක් සමගින් ලකුණු 148ක් රැස් කරමින් ප්‍රබල දායකත්වයක් සපයන ලදී. ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් රුවන් හේරත් සහ රොෂාන් ජයතිස්ස කඩුලු 3 බැගින් බිඳ හෙලීය.

දෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගාලු පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 131ක් ලබා සිටිති. නොදැවී පන්දුවට පහර දෙන මොහොමඩ් ජලීල් ලකුණු 79යි. තවමත් ගාලු ක්‍රිකට් සමාජය SSC කණ්ඩායමට වඩා ලකුණු 120ක් පසුපසින් සිටින නිසා තරගය බේරා ගැනීමට නම් හෙට සවස් කාලය වනතුරුවත් පිතිකරණයේ යෙදීමට ඔවුන්ට සිදුවනු ඇත.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 59.1): දිල්හාන් කුරේ 50, තරිඳු රත්නායක 4/25, සචිත්‍ර සේනානායක 2/30, විමුක්ති පෙරේරා 2/35.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 379 (පන්දුවාර 92.5): මිනෝද් භානුක 148, චරිත් අසලංක 76, දසුන් ශානක 50, රුවන් හේරත් 3/44, රොෂාන් ජයතිස්ස 3/93, චලන ද සිල්වා 2/91.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 131 (පන්දුවාර 25): හොමඩ් ජලීල් 79*, පවන් එදිරිසිංහ 30.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

පන්දු යවන්නන් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අකිල ධනංජය සහ ප්‍රභාත් ජයසූරිය 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 157 නිසා අඩු ලකුණු ගණනකට සීමා වන්නට තිබූ කෝල්ට්ස් ප්‍රථම ඉනිම අද ලකුණු 366ක් දක්වා වර්ධනය විය. ඔවුන් දෙදෙනාගේ මෙම ලකුණු සබඳතාවය කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් 9 වැනි කඩුල්ල වෙනුවෙන් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. මෑත කාලයේදී තම පිතිකරණ හැකියාව යම්තාක් දුරකට ඉහළ නංවාගෙන ඇති අකිල ධනංජය අද හතරේ පහර 10ක් සමගින් ලකුණු 92ක් රැස්කලේ තම ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ලෙසයි. පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ අමිල අපොන්සු අද කෝල්ට්ස් කඩුලු 7ක් බිඳ දැමීය.

ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගැනීම සඳහා ලකුණු 367ක අසීරු ඉලක්කයක් හිමිවුනු NCC පිතිකරුවන් මේ වන විට ධනාත්මක පිතිකරණයක යෙදෙමින් කඩුලු 3කට ලකුණු 217ක් ලබා සිටියි. මේ දිනවල සුපිරි රිද්මයක පසුවන උදාර ජයසුන්දර දෙවැනි දිනය නිමාවන විට නොදැවී ශතකයක් රැස් කරගෙන සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 366 (පන්දුවාර 113.4): සදීර සමරවික්‍රම 96, අකිල ධනංජය 92, ප්‍රභාත් ජයසූරිය 79, විශාද් රන්දික 53, අමිල අපොන්සු 7/85.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 217 (පන්දුවාර 64): උදාර ජයසුන්දර 101*, ලහිරු තිරිමාන්න 70, නිසල තාරක 2/38.


කොළඹ ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

ඊයේ දිනයේ ඩිල්ශාන් මුණවීර රැස්කළ ප්‍රහාරාත්මක ලකුණු 191න් බල ගැන්වුණු CCC ප්‍රථම ඉනිම ලකුණු 326ක් දක්වා ඉහළ නැගුනත් ඊට නොදෙවෙනි පිති හරඹයක නියැලුණු BRC පිතිකරුවන් කඩුලු 7කට ලකුණු 407ක් රැස් කරමින් ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සමත් විය. BRC පිතිකරුවන් සියලු දෙනාම පාහේ අද ලකුණු අතරට පැමිණි අතර ඒ අතරින් පෙරමුණ ගත් ටී. එම්. සම්පත් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 123ක් රැස් කළේය. මේ වනවිට BRC පිළ CCC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 81ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 3ක් අතැතිවයි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 326 (පන්දුවාර 72.1): ඩිල්ශාන් මුණවීර 191, වනිඳු හසරංග 33, රොන් චන්ද්‍රගුප්ත 28, දිනුක හෙට්ටිආරච්චි 6/137, ඇන්ඩි සොලමන්ස් 3/70.

BRC – කඩුලු 7ක් දැවී ලකුණු 407 (පන්දුවාර 104): ලිසුල ලක්ෂාන් 45, ලසිත් ලක්ෂාන් 61, ටී. එම්. සම්පත් 123, රුමේෂ් බුද්ධික 44, හර්ෂ විතාන 51, ශාලුක සිල්වා 3/86.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

සැරසන්ස් පිළ ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 358ට පිලිතුරු වශයෙන් සාර්ථක පිතිකරණයක නියැලෙන යුධ හමුදා කණ්ඩායම, දෙවැනි දිනය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 285ක් ලබාගෙන ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සූදානමින් පසුවේ. යුධ හමුදා ඉනිමේ ශක්තිය බවට පත්ව සිටින ලක්ෂිත මධුෂාන් මේ වනවිට හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 142ක් ලබාගෙන සිටියි. සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් සුරාජ් රන්දිව් අද බිඳ හෙලූ කඩුලු 3ත් සමගින් ඔහු පළමු පෙළ දිවියේ කඩුලු 600ක් බිඳ හෙලූ 9 වන පන්දු යවන්නා බවට පත්විය. මේ වන විට යුධ හමුදා කණ්ඩායම කඩුලු 5ක් අතැතිව සැරසන්ස් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 73ක් පිටුපසින් පසුවේ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 358 (පන්දුවාර 87.2)
මිලින්ද සිරිවර්ධන 121, උමේෂ් කරුණාරත්න 49, හර්ෂ කුරේ 43, චතුර රන්දුනු 30, දුශාන් විමුක්ති 3/118, නලීන් ප්‍රියදර්ශන 2/41, විරාජ් පුෂ්පකුමාර 2/72.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 285 (පන්දුවාර 90)
ලක්ෂිත මධුෂාන් 142*, දුශාන් විමුක්ති 34, දිල්ශාන් ද සොයිසා 69, හිමාෂ ලියනගේ 24, සුරාජ් රන්දිව් 3/56.

මෙම සියලුම තරග හෙට තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට