දික්වැල්ලගේ ශතකය NCC කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙනෙයි

573
Niroshan Dickwella

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (05) පැවති තරගයෙන් ජය හිමිකර ගන්නට NCC කණ්ඩායම සමත් විය. NCC කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ ලකුණු 183ක් රැස්කල නිරෝෂන් දික්වැල්ල මෙම ජයග්‍රහණයේ පෙරගමන්කරුවා බවට පත්විය.

පසුගිය ලිපි: CCC සහ හලාවත මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි

තමන්ට හොඳින් හුරුපුරුදු ක්‍රීඩා සමාජ තණතිල්ල මතදී ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් NCC පිතිකරුවෝ පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 443ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. NCC ඉනිමේ ශක්තිය බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 23ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 183ක් වාර්තා කලේය. ඔහුගේ වේගවත් ඉනිම සඳහා වැයවුනේ පන්දු 155ක් පමණි. ඔහු සඳුන් වීරක්කොඩි හා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 125ක සබඳතාවයක් පැවැත්වූයේ ආරම්භයේදීම තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින්ගෙන් ඈතට ගෙන යමිනි. සඳුන් වීරක්කොඩි හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 64ක් රැස් කළේය. මීට අමතරව නායක ෆර්වීස් මහරූෆ් සහ උපුල් තරංග ද අර්ධ ශතක වාර්තා කරන ලදී. පන්දු යැවීමේදී මලිත් ද සිල්වා ලකුණු 83කට කඩුලු 5ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන්ට එතරම් සාර්ථක පිති හරඹයක නියැලෙන්නට හැකි නොවීය. ලහිරු ගමගේ, දුෂ්මන්ත චමීර සහ ෆර්වීස් මහරූෆ් තම වේග පන්දුවෙන් බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් හය දෙනෙකු දවා ගනිද්දී තරිඳු කෞෂාල්ගේ දඟ පන්දුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් තිදෙනෙකුට සිය කඩුල්ල අහිමි කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන්ට සිය ප්‍රථම ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණි.

අසාර්ථක ප්‍රථම ඉනිම හේතුවෙන් දෙවන වරටත් පන්දුවට පහර දීමේ අවමානයට ලක් වන්නට සිදුවූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් එහිදී ප්‍රථම ඉනිමට වඩා යම් දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් විය. ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 346ක් සටහන් වීමට නිපුන් කරුණානායක වාර්තා කල ලකුණු 124 මනා පිටුවහලක් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. දෙවැනි ඉනිමේදීද පන්දුවෙන් දක්ෂතා දැක්වූ තරිඳු කෞෂාල් ලකුණු 132ට කඩුලු 5ක් බිඳ හෙළීය.

ඒ අනුව NCC පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 104ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 3ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කරගත් NCC පිතිකරුවන් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක හිමිකරුවන් බවට පත්විය. දසුන් වීරක්කොඩි පන්දු 28ක් තුල හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 64ක් ලබමින් තරග ජය ස්ථිර කළේය.

NCC – කඩුලු 9ක් දැවී ලකුණු 443 (පන්දුවාර 84): නිරෝෂන් දික්වැල්ල 183, ෆර්වීස් මහරුෆ් 67, සඳුන් වීරක්කොඩි 64, උපුල් තරංග 61, මලිත් ද සිල්වා 5/83.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 64.4): ආලෝක අමරසිරි 87*, නිපුන් කරුණානායක 30, තරිඳු කෞෂාල් 3/73, ෆර්වීස් මහරූෆ් 2/15, දුෂ්මන්ත චමීර 2/28.

බ්ලූම්ෆීල්ඩ් (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 99.1): නිපුන් කරුණානායක 124, ලහිරු ජයකොඩි 89, නිසල් ෆ්‍රැන්සිස්කෝ 36, තිරාන් ධනපාල 31, ෆර්වීස් මහරූෆ් 2/14, තරිඳු කෞෂාල් 4/132.

NCC (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 104 (පන්දුවාර 9.3): සඳුන් වීරක්කොඩි 64*, නිරෝෂන් දික්වැල්ල 26, දිනේෂ් චන්දිමාල් 14*, ඉම්රාන් කාන් 1/32.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට