සඳුන් වීරක්කොඩි සහ සිතාර ගිම්හාන් ශතක වාර්තා කරති

404
SLC Premier League

දේශීය ක්‍රිකට් පිටියට කාර්‍යබහුල දිනයක් වූ අද (09) දිනයේ ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් පැවති තරග සංඛ්‍යාව 6කි. එහිදී NCC ක්‍රීඩා සමාජය නියෝජනය කරන සඳුන් වීරක්කොඩි සහ ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරන සිතාර ගිම්හාන් ශතක වාර්තා කරමින් තම කණ්ඩායම් වලට ශක්තියක් විය.

පසුගිය ලිපි: කුසල්ගේ නොදැවුනු ඉණිම නාවිකයන්ට සවියක් වෙයි

ගාලු ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් අතර තරගය

ඊයේ දිනයේ කඩුලු 4කට ලකුණු 247ක් ලෙස සටහන් වුනු ගාලු ක්‍රිකට් සමාජයේ ප්‍රථම ඉනිම අද ලකුණු 352ක් කරා ගෙනයාමට පිතිකරුවන් සමත් විය. ලකුණු 86ක් රැස්කල දිල්හාන් කුරේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු යැවීමේදී ජීවන් මෙන්ඩිස් ලකුණු 87කට කඩුලු 4ක් දවාලීය.

ගාලු ප්‍රථම ඉනිමට සාර්ථක පිලිතුරක් ලබා දෙමින් සිටින ටැමිල් යූනියන් පිතිකරුවෝ දෙවන දිනය නිමාවන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 228ක් ලබා සිටියි. සුපිරි පිතිහරඹයක යෙදෙන සිතාර ගිම්හාන් නොදැවී ලකුණු 104ක් ද, තරංග පරණවිතාන ලකුණු 81ක් ද ලබා සිටිති.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 352 (පන්දුවාර 111.3): නිලුශාන් නෝනිස් 34, දිල්හාන් කුරේ 86, ශාලික කරුණානායක 45, එරංග රත්නායක 62, චාමික කරුණාරත්න 3/80, දුලාංජන මෙන්ඩිස් 2/66, ජීවන් මෙන්ඩිස් 4/87.

ටැමිල් යූනියන් – එක් කඩුල්ලක් දැවී ලකුණු 228 (පන්දුවාර 66): දිනුක් වික්‍රමනායක 33, සිතාර ගිම්හාන් 104*, තරංග පරණවිතාන 81*.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් බදුරලිය පිතිකරුවන් සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි. කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් කරා ගමන් කිරීමට අසමත් වූ බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට ලකුණු 47ක් රැස් කරගත් විශ්ව විජේරත්න සමත් විය. බදුරලිය ඉනිම වැනසූ මලිත් මහේල ලකුණු 41ට කඩුලු 5යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 134ක් ලබා සිටියි.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 51): ශෙහාන් ප්‍රනාන්දු 46, විශ්ව විජේරත්න 47, සචින් හේවාවසම් 26, මලිත් මහේල 5/41, ටනීශ වීරකෝන් 3/24.

බ්ලූම්ෆීල්ඩ් – කඩුලු 3ක් දැවී ලකුණු 134 (පන්දුවාර 33): අදීශ නානායක්කාර 54*, නිපුන් කරුණානායක 47*, දිලේශ් ගුණරත්න 2/47.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

අද උදෑසන මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි කරගත් සැරසන්ස් පිතිකරුවන් ප්‍රථම ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කරගන්නා ලදී. සැරසන්ස් ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයින් දෙදෙනා බවට පත්වූ උමේෂ් කරුණාරත්න ලකුණු 84ක් ද, ඉරෝෂ් සමරසූරිය ලකුණු 72ක් ද රැස් කරන ලදී.

දිනයේ ඉතිරිව තිබූ පන්දුවාර 6ට මුහුණ දීම සඳහා පිටියට පිවිසුණු BRC පිතිකරුවන් කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබා සිටිති.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 302 (පන්දුවාර 79.5): ඉරෝෂ් සමරසූරිය 72, උමේෂ් කරුණාරත්න 84, දෙනුවන් රාජකරුණා 69, චතුර රන්දුනු 28, දිනුක හෙට්ටිආරච්චි 5/96, ඇන්ඩි සොලමන් 2/25, ටී. එම්. සම්පත් 3/64.

BRC – කිසිවෙකුත් නොදැවී ලකුණු 23 (පන්දුවාර 6): ලිසුල ලක්ෂාන් 13*, දේශාන් ඩයස් 10*.


කොළඹ ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

අද ප්‍රථම දිනයට ඇරඹුණු තවත් තරගයක් වන මෙහි මුලින් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රිකට් සමාජය (CCC) ලකුණු 218ක් රැස් කරන ලදී. මෑතකදී ජාත්‍යන්තර වරම් හිමිකර ගත් සචිත් පතිරණ CCC ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 54ක් රැස් කළේය. පන්දු යැවීමේදී අසේල ගුණරත්න සහ දුෂාන් විමුක්ති අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින යුධ හමුදා පිතිකරුවෝ දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 92ක් ලබා සිටිති. නොදැවී පන්දුවට පහර දෙන දුශාන් විමුක්ති ලකුණු 45යි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 56.3): සචිත් පතිරණ 54, රොන් චන්ද්‍රගුප්ත 26, අශාන් ප්‍රියන්ජන් 32, ලහිරු මධුශංක 50*, අසේල ගුණරත්න 3/27, දුශාන් විමුක්ති 3/49, ලක්ෂාන් මධුශංක 2/34, විරාජ් පුෂ්පකුමාර 2/70.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 92 (පන්දුවාර 36): දුශාන් විමුක්ති 45*.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින්ම කාර්‍යබහුල වූ අද දිනයේ ආරම්භ වුනු තවත් තරගයක් වන මෙය NCC පිටියේදී පැවැත්විණි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන් ලකුණු 385ක් වාර්තා කරන ලදී. කලින් තරගයේ ශතකයක් රැස් කල නිරෝෂන් දික්වැල්ල අද ලකුණු 51ක් වාර්තා කරන ලදී. සඳුන් වීරක්කොඩි හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 113යි. පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු 5ක් බිඳ හෙලීය.

NCCසියල්ලන්ම දැවී ලකුණු 385 (පන්දුවාර 88.1): නිරෝෂන් දික්වැල්ල 51, සඳුන් වීරක්කොඩි 113, පවන් වික්‍රමසිංහ 46, ඇන්ජෙලෝ පෙරේරා 45, නිමේෂ ගුණසිංහ 64, ෆර්වීස් මහරූෆ් 30, මලින්ද පුෂ්පකුමාර 5/74, මධූක ලියනපතිරණගේ 3/88.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයක් වන මෙහි මුලින් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී රැස් කලේ ලකුණු 217ක් පමණි. ප්‍රිමෝශ් පෙරේරා මුවර්ස් පිළ වෙනුවෙන් ලකුණු 64ක් වාර්තා කරද්දී රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක යෙදුනු අමිල අෆොන්සු ලකුණු 40ට කඩුලු 4ක් බිඳ හෙලීය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන රාගම පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 180ක් ලබා සිටියි. සුපිරි ඉනිමක නියැලෙන උදාර ජයසුන්දර නොදැවී ලකුණු 85යි. මෙම සියලුම තරග හෙට දිනයටත් ක්‍රියාත්මක වේ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 55.2): ප්‍රිමෝශ් පෙරේරා 64, රුවිඳු ගුණසේකර 27, ශානුක දුලාජ් 36, අමිල අෆොන්සු 4/40, සහන් නානායක්කාර 3/52, ඉශාර  අමරසිංහ 2/39.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 180 (පන්දුවාර 34): උදාර ජයසුන්දර 85*, ලහිරු මිලන්ත 63.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට