සන්තුෂ්ගේ වේගය නිසා ආනන්දයට නොසිතූ අභියෝගයක්

1880

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (07) ආරම්භ වූ අතර ප්‍රථම දිනය නිමාවට පත්වන විට තරග ද්විත්වයේ පෙරමුණ ගන්නට කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්ව සිටියි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ පිළිවෙළින් කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි.

සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියට සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය අප්‍රේල් මස 9වන දා ආරම්භ වීමට නියමිත අතර, මේ සදහා ක්‍රීඩා කරන…

සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර තරගය

ඊයේ මුවර්ස් ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයීය නායක ලක්ෂිණ රොද්‍රිගෝ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉල්ලා සිටින්නේ තම පිතිකරණ බල ඇණිය සතු ශක්තිය උරගා බැලීමටයි. නමුත් පීතර විද්‍යාලයේ මුල්පෙළ දෙදරවමින් ඉක්මන් කඩුලු කිහිපයක් බිඳ හෙලන්නට ආනන්ද විද්‍යාලයීය පන්දු යවන්නන් සමත් වූහ. කඩා වැටුණු ඉනිම පිළිසකර කිරීමේ කාර්යය භාරගත් තුන් ඉරියව් ක්‍රීඩක ශිවාන් පෙරේරා රන්මිත් ජයසේන පීතර ලකුණු පුවරුව ‍සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට පියවර ගත්හ.

තාක්ෂණයත්,සංයමයත් මැනවින් කැටිවුණු දර්ශනීය ඉනිමක් ක්‍රීඩා කල දකුණත් පිතිකරු ශිවාන් පෙරේරා අද ලකුණු 68ක් රැස් කරද්දී අනෙක් අන්තයේ සිට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල රන්මිත් ජයසේන ලකුණු 43කින් සාන්ත පීතර විද්‍යාලයට සවියක් විය. ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට පවා ඇතුළත් වුනු දක්ෂ යොවුන් තරුවක් වන මනෙල්ක ද සිල්වා අද ලකුණු 26ක් රැස් කළේය.

මෙම සියලුම පිතිකරුවන්ගේ කැපවීම සහ උනන්දුව නිසා පන්දුවාර 71යි පන්දු 3ක් ගතවෙද්දී තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 211ක් රැස්කර ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත් විය. ප්‍රතිවාදී පීතර පිතිකරුවන් හා කරට කර සටනක් දියත් කල වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අසේල් සිගේරා කඩුලු 3ක් බිඳ හෙලද්දී ශම්මු අශාන් සහ චාමික ගුණසේකර යන පන්දු යවන්නන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

අද සන්ධ්‍යා කාලයේ පන්දුවාර 21කට මුහුණ දීම සඳහා පිටියට බට ආනන්ද පිතිකරුවන් ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්වයක පත්විය. ඒ අතරතුර ආනන්ද ප්‍රථම ඉනිමට එක්වී තිබුණේ ලකුණු 74ක් පමණි. ආනන්ද විද්‍යාලයට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක් දියත් කල සන්තුෂ් ගුණතිලක ලකුණු 15කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඒ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය තවමත් පසුවන්නේ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 134ක් පසුපසිනි.

සාන්ත පීතර විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 71.3): ශිවාන් පෙරේරා 68, රන්මිත් ජයසේන 43, මනෙල්කාර් ද සිල්වා 26, සන්තුෂ් ගුණතිලක 20, අසේල් සිගේරා 3/36, ශම්මු අශාන් 2/17, චාමික ගුණසේකර 2/35.

ආනන්ද විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 74 (පන්දුවාර 21): සහන් සුරවීර 24, කළණ විජේසිරි 20, සන්තුෂ් ගුණතිලක 4/15.


රිච්මන්ඩ් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 97ක් අවසානයේ ලකුණු 289ක් රැස් කිරීමට සමත් වූහ. ඒ සඳහා යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 47ක් රැස්කර ගනිමින් හොඳ ආරම්භයක් ලබා දුන් අතර එම ඇරඹුම විශිෂ්ට අර්ධ ශතකයකින් බල ගැන්වූ නිපුන් ලක්ෂාන් (77) තර්ස්ටන් විද්‍යාලයට තරගයේ පෙරමුණ ගන්නට ඉඩ හසර විවර කර දුන්නේය.

තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන සවන් ප්‍රභාෂ් ඊයේ දිනය අවසානය දක්වාම කඩුල්ලේ රැඳෙමින් ලකුණු 73ක් තම විද්‍යාලයීය ලකුණු පුවරුවට තිලිණ කල අතර ප්‍රගීෂ මෙන්ඩිස්ගේ පිත්තෙන් ලකුණු 22ක් ගලා ආවේය. කෙසේ වෙතත් පිතිකරුවන්ට උචිත වූ තණතීරුවේ දක්ෂ පන්දු යැවීමක නිරත වුනු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අවිඳු තීක්ෂණ තර්ස්ටන් ක්‍රීඩකයින්ට හොඳ අභියෝගයක් බවට පත්වෙමින් ලකුණු 78ට කඩුලු 5ක් දවාලීය.

ඔහුට අද සැලකිය යුතු තරමේ සහයක් දක්වන්නට සමත් වුනු අනෙක් එකම පන්දු යවන්නා වූයේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක සඳුන් මෙන්ඩිස් පමණි. අවිඳු එක් අන්තයකින් පන්දු යවමින් සාර්ථක වෙද්දී අනෙක් අන්තයෙන් ලකුණු කාන්දු වීමට ඉඩ නොදෙමින් හොඳ පන්දු යැවීමක යෙදුනු සඳුන් අවසානයේ දී තර්ස්ටන් පිතිකරුවන් සිව්දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යවා තිබුණි.

ඒ අනුව මෙම තරගයේ ප්‍රබලතම සටන ඇරඹෙන්නේ අද (08) උදෑසන සිටයි. ඒ නමගිය පිතිකරුවන් රැසක් අන්තර්ගත රිච්මන්ඩ් පිතිකරණ බල ඇණිය තර්ස්ටන් විද්‍යාලයේ කුසලතා පූර්ණ පන්දු යැවීමේ බල ඇණියට එරෙහිව හෙට උදෑසන සිට තම සටන ආරම්භ කරන බැවිනි. තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 97): නිපුන් ලක්ෂාන් 77, පවන් ප්‍රභාෂ් 73*, ‍යෙශාන් වික්‍රමාරච්චි 47, ප්‍රගීෂ මෙන්ඩිස් 22, අවිඳු තීක්ෂණ 5/78, සඳුන් මෙන්ඩිස් 4/72.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට