සතුරන් මෙල්ල කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියට ඇදෙන තර්ස්ට’නයිට්වරුන්

311

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටිය අතිශය තරගකාරී මුහුණුවරක් ගෙන ඇති කාලසමයක B කාණ්ඩය යටතේ තරග කරනා අගනුවර තවත් එක් සුප්‍රකට රග්බි පසුබිමක් සහිත පාසලක මෙවර තරගවාරය සඳහා ඇති සූදානම පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි අපගේ මෙම සූදානම. ඒ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි.

නවකයින් රැසක් සමඟ පිටියට පිවිසෙන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මෙම වසරේ (2019) පාසල් රග්බි පිටියේ නව නායකත්වයක් යටතේ පෙරළියක් ඇති කිරීමට …..

අතීතයෙන් බිඳක්

පුරා වසර 62කට ආසන්න කාලයක් රග්බි පිටියේ සිය බල පරාක්‍රමය පතුරවාලූ තර්ස්ටන්වරුන්ගේ රග්බි ඉතිහාසය බොහෝ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට පැමිණි අධිෂ්ඨානශීලී ගමනකි.

ක්‍රීඩා කෞශල්‍යයෙන් පරිපූර්ණ ක්‍රීඩකයින් කොතරම් තර්ස්ටන් සංචිතය සතු වූවත් දිනය අවසානයේ දී වාසනාව ඒ සියලු කරුණු කාරණා අභිබවා යමින් ඔවුන්ගේ ජයග්‍රාහී මාවත තීරණය කිරීම තීරණාත්මක සාධකය බවට පත් වී ඇති බව මෑත කාලයේ තරග දෙස බැලීමේ දී පෙනී යයි.

කලක සිට B කාණ්ඩයේ තරග වැදි තර්ස්ටන් කණ්ඩායම හට ජයග්‍රහණය අභියස සිටි තරග කිහිපයක්ම නොසිතූ අන්දමින් පරාජය වීමට සිදු වූ නිසාවෙන් A කාණ්ඩයේ දොරගුළු විවර කරගැනීමට තිබූ පහසු අවස්ථාවන් කිහිපයක්ම ඔවුන් අතින් ඉතා අවාසනාවන්ත අයුරින් ගිලිහී යන්නට විය.

කෙසේ නමුත් මෙම දශකය තුල දී ඔවුන් අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ පිළිබඳ සමාලෝචනය කිරීමේ දී මොහොමඩ් රිස්කාන් සහ තිසුම් පලිහවඩන දෙදෙනාගේ නායකත්වය යටතේ 2018 සහ 2016 වර්ෂවල දී ප්‍රිමියර් කුසලාන ශූරතාවලියේ ශූරයින් ලෙසත්, ජනිත් දෙනියගේ සහ ඉෂාන් පෙරේරාගේ මෙහෙයවීමේ යටතේ 2014 සහ 2010 තරග වැදී තර්ස්ටනයිට්වරුන් B කාණ්ඩයේ අනුශූරයින් ලෙස ද කිරුළු පැලදීමට සමත් විය.

පලඟ ශූරයින් මෙවර කුසලාන ශූරතාවයට මෙහෙයුම් දියත් කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ….

1957 දී දිග හැරෙනා තර්ස්ටන් රග්බි වෘතාන්තයේ ප්‍රථම වරට කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය හිමිකර ගන්නේ සුරත් වික්‍රමසිංහ මහතා වන අතර 90 දශකය වෙත පා තැබීමත් සමඟම තර්ස්ටන්වරුන්ගේ රග්බි ඉතිහාසයේ නොමැකෙන සටහන් රැසක් ද සමඟින් වඩාත් සාර්ථකම යුගය වෙත ඔවුන් පියමනින්නේ ජනාධිපති කුසලාන ශූරතාවලියේ දී පෙන්වූ කැපී පෙනෙන දක්ෂතා නිසාවෙනි.

ඒ අනුව 1997 සහ 98 යන වර්ෂයන්හී අඛණ්ඩව දෙවතාවක් එම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා තර්ස්ටන් කණ්ඩායම නුවන් කුමාර මහතාගේ නායකත්වය යටතේ 1998 දී ඉසිපතන කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරයින් ලෙස අභිසෙස් ලැබුවේ පාසල් රග්බි වංශකතා පොත අලුත් කරමිනි.

එවැනිම තවත් සුවිශේෂී මතක සටහනක් ලෙසින් ප්‍රබල ඉසිපතන විද්‍යාලයට එරෙහිව වාර්ෂිකව පැවැත්වෙන අබ්දුල් ජබ්බාර් අනුස්මරණ මහා රග්බි සංග්‍රාමය වසර 37කට පසු 2005 වර්ෂයේ දී විශිෂ්ට ලෙස ජය ගැනීම තර්ස්ටන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු මොහොතක් ලෙසින් අතීතයට එක්වී තිබේ.

ජය පැරදුම කෙසේ විසඳුණ නමුත් තම පාසලට සිය මව මෙන් ආදරය කරනා ආදි තර්ස්ටන්වරුන් මෙන්ම පාසල් කළමනාකාරිත්වය ද විද්‍යාලයීය රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා සිදු කර ඇති කැප කිරීම් විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර එම වෙහෙස මහන්සියේ ප්‍රතිඵල වශයෙන් අන්තර් සමාජ මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් දායද කිරීමේ අභිමානය තර්ස්ටන් විද්‍යාලය සතු වේ.

ඒ අතරින් මෑත කාලීනව බිහි වූ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක් ලෙස CH පිල නියෝජනය කරන විශ්ව දිනෙත් සහ හැව්ලොක් පිල වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන නිලුපුල් දේවින්ද හඳුන්වා දිය හැක.

පසුගිය තරගවාරය

පසුගිය තරගවාරයේ දී තර්ස්ටන්වරුන් පෙන්වා ඇති දක්ෂතා පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන් B කාණ්ඩය යටතේ මූලික වටයේ තමන් සහභාගී වූ තරග 5න් තුනක ජය සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය.

නමුත් මලියදේව සහ ලුම්බිණි කණ්ඩායම් සමඟ පැවති තරගවල දී දැඩි සටනක් ලබා දීමෙන් අනතුරුව පරාජයේ වේදනාව විඳ දරා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින්ට සිදු වූයේ දෙවන වටයට පිවිසීමට තිබූ ඉතාමත් හොඳ අවස්ථාවක් ඔවුන් අතින් ගිලිහී යාමත් සමඟිනි.

නමුත් එම වාඩුව මකා ගැනීමේ අදිටනින් මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලිය වෙත පිවිසි මොහොමඩ් රිස්කාන් ප්‍රමුඛ තර්ස්ටන්වරුන් අවසන් මහා තරගයේ දී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අභිබවා යමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙවර සූදානම

පසුගිය තරගවාරය ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් මෙන්ම ජවසම්පන්න යොවුන් තරගකරුවන් රැසකගේ සම්මිශ්‍රණයෙන් සන්නද්ධ තර්ස්ටන් බලකාය මෙවර තරගාවලිය සඳහා ගමන් කරන්නේ කෙසේ හෝ B කාණ්ඩයේ ශූරයින් වීමේ ඒකායන බලාපොරොත්තුව මුදුන්පත් කරගැනීමේ අරමුණෙනි.

විද්‍යාර්ථ – සිල්වෙස්තර සටනෙන් විද්‍යාර්ථයට ජය

මහනුවර සිල්වෙස්තර සමඟින් මහනුවර විද්‍යාර්ථ ….

මෙවර කණ්ඩායම හසුරුවමින් නායකත්වයේ වගකීම ඉටු කිරීමේ කාර්යභරය පැවරී ඇත්තේ වසර තුනක කාලයක් සිය සේවය කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් ලබා දුන් දෙවන පෙළ ක්‍රීඩක චතුක ජයසංඛ වෙතයි.

ඔහුට මනා සහයක් ලබා දෙමින් උපනායක ධූරයේ බර සිය කර මතට ගත් තත්සර රුවන්ජිත් තෙවන වසර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරයි. මීට අමතරව Flanker ස්ථානයන්හී ක්‍රීඩා කරන නිපුන කල්හාර, දුෂාන් ලක්ෂිත මෙන්ම නොම්මර 08 ක්‍රීඩකයා ලෙසින් කටයුතු කරන දෙනුවන් හන්සක කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රියාන්විතය නිසියාකාරව දියත් කිරීමේ අරමුණින් සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දෙනු ඇත.

තවද ශක්තිමත් පසුපෙළකට ද උරුමකම් කියන තර්ස්ටන් බලකායේ මෙවර කැපී පෙනෙන ක්‍රීඩකයින් ලෙසින් wing ස්ථානයන් ද්විත්වයෙහි තරග වදින සකාෆ් ශාකීර් සහ දිමුත් තාරක හැඳින්විය හැකි අතර center ලෙස කටයුතු කරන සවිරු සවිත්ගේ සහය ද පසුපෙළෙහි සාර්ථකත්වය සඳහා උපකාරී වනු ඇත.

CH&FC කණ්ඩායමේ නියෝජනය කරමින් ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වන රෝහිත රාජපක්ෂ තර්ස්ටන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එම කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් සමූදායක් සතු ක්‍රීඩකයෙකු ලෙසින් ප්‍රචලිත සසංක ආරියරත්න සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි. මීට අමතරව තුසිත නුවන් කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරයි.

තර්ස්ටන් විද්‍යාලයේ පළමු වටයේ කාලසටහන

  • මාර්තු 1  C. W. W.කන්නන්ගර විද්‍යාලය – තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටිය
  • මාර්තු 9 ධර්මරාජ විද්‍යාලය – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ  
  • මාර්තු 18 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පල්ලෙකැලේ  
  • මාර්තු 25 විද්‍යාර්ථ විද්‍යාලය – තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටිය
  • කොළඹ මහානාම විද්‍යාලය – තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටිය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<