අන්තර් පාසල් ලීග් රග්බි තරග මාලාවේ සත්වන සතිය මෙන්ම පළමු වටය ඊයේ දිනයේ දී නිමාවට පත් විය. ඊයේ (08) දින තීරණාත්මක තරග 3ක් පැවති අතර මෙම තරග සියල්ලක්ම පළමු කොටසේ A කාණ්ඩයේ කණ්ඩායම් අතර පැවැති තරග වීම විශේෂත්වයකි. ඊයේ දින ප්‍රබල කණ්ඩායම් තරගාවලියේ ශූරතාවය සඳහා වන තරගාවලියෙන් ඉවත් වීම මෙන්ම අනෙකුත් කණ්ඩායම් තම යුධෝපකරණ අත්හදා බලමින් දෙවන වටයට පිවිසීම ද දැකගත හැකි වූ දිනයක් විය.

හඬමින් සිටි ශ්‍රී ලංකාවට, විල්වරගෙන් ලේන්සුවක්

හොං කොං හිදී පැවැත්වෙන ලෝක කුසලාන සත්සාමාජික තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී හොං කොං කණ්ඩායම හමුවේ 31-05ක් ලෙස පරාජය…

කොළඹ සාන්ත ජෝසප් සහ කොළඹ ඩී. එස්. සේනානායක

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගය කවුරුත් බලාපොරොත්තු වූ ආකාරයටම ක්‍රියාත්මක වූ අතර සාන්ත ජෝසප් කණ්ඩායම යම් කිසි වෙනස්කම්, කිහිපයක් සමඟ තරගයට අවතීර්ණ වනු දක්නට ලැබිණි.

Ds v St.Joshepවිශේෂයෙන්ම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂක ක්‍රීඩා සැලැස්මේ දුර්වලතා මත අනෙකුත් සෑම කණ්ඩායමක් ම පාහේ ලකුණු 30 සීමාව පසු කර යාම තුල සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට නිතරඟ ජයක් බව බොහෝ දෙනා මත පල කර සිටියහ. තරගය ආරම්භයෙන් මද වේලාවකට පසුව සා. ජෝසප් කණ්ඩායම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කලේය.

ඒ සචිත් සිල්වා එල්ල කළ පන්දුව හඹා යාමේ දී ඔහුව අසාධාරණ ලෙස වැළැක්වීම මත විනිසුරු වරයා දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීම හේතුවෙනි. සචිත් සිල්වාගේ ප්‍රවර්තනය සාර්ථක වූ අතර විශේෂ කරුණ නම් පළමු මිනිත්තු 30 තුල සා. ජොසප් ක්‍රීඩකයන් ලකුණු 31 වාර්තා කිරීමයි. කේ. ඩී. කවිඳු, චතුර සෙනෙවිරත්න හා සචිත් සිල්වාගේ උත්සාහක දිනුම් ද්විත්වය එම ලකුණු සංඛ්‍යාව ලබා දීමට සමත් විය.

ඉතිරි මිනිත්තු 10 තුල ශෙවෝන් ග්‍රෙගරි, චතුර සෙනෙවිරත්න හා ගැමුණු චේතිය ලබා ගත් උත්සාහක දිනුම් තුන හා සචිත් සිල්වාගේ විශිෂ්ට ප්‍රවර්ථන සමඟ මුලු ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් ලෙස සටහන් කරමින් කෙටි විවේක කාලයට පිවිසීමට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය: සාන්ත ජෝසප් 50 – 00 ඩී. එස්. සේනානායක

දෙවන අර්ධය තුල දී ද තරගය සියතට ගැනීමේ හැකියාවක් ඩී. එස්. ක්‍රීඩකයන්ට නොවීය. ඒ අවසරයෙන් සචිත් සිල්වා තම උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔහු සමත් වූ අතර ඉන් සුලු වේලාවකට පසුව සාන්ත ජෝසප් කණ්ඩායමේ සමීශ විරංග තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඉන් මද වේලාවකට පසුව සචිත් සිල්වා තම සිව් වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය.

කෙසේ හෝ තම කණ්ඩායමේ ගෞරවය බේරා ගැනීමට ඉදිරිපත් වූ ඩී. එස්. කණ්ඩායමේ නායක ගැවින් පෙරේරා තම කණ්ඩයම වෙනුවෙන් පළමු හා එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට හසිඳු හේමසිරි සමත් වූ අතර එම උත්සාහක දිනුම ද පල රහිත කරමින් ආබාධයක් සමඟ ක්‍රීඩා කළ සාන්ත ජෝසප් කණ්ඩායමේ නායක විනුල් ප්‍රනාන්දු තම කණ්ඩායම වෙනුවෙන් 12 වන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සචිත් සිල්වාට එය ප්‍රවර්තනය කළ නොහැකි වූ නමුත් තරගය පුරා ඔහු ලකුණු 32ක් රැස් කර තිබීම විශේෂත්වයකි. හසීන්දු හේමසිරිගේ දඬුවම් පහර මගින් ලකුණු 10 සීමාවට ලඟා වීමට ඩී. එස්. කණ්ඩායමට හැකි වූ අතර ඒ සමඟ තරගය නිමා විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප්  72 – 10 ඩී. එස්. සේනානායක

ThePapare.com තරගයේ වීරය – සචිත් සිල්වා (සාන්ත ජෝසප්)   

ලකුණු බෙදී යාම

සාන්ත ජෝසප්
උත්සාහක දිනුම් – සචිත් සිල්වා 4, චතුර සෙනෙවිරත්න 2, විනුල් ප්‍රනාන්දු 1, කේ. ඩී .කවිඳු 1, ශෙවෝන්  ග්‍රෙගරි 1, ගැමුණු චේතිය 1, සමීෂ විරංග 1, චිත් සිල්වා – ප්‍රවර්තන 6

ඩී. එස්. සේනානායක
ගැවින් පෙරේරා  උත්සාහක දිනුම් 1, හසිඳු හේමසිරි – ප්‍රවර්තන 1, දඬුවම් පහර 1


බම්බලපිටිය සාන්ත පීතර සහ මහනුවර ධර්මරාජ

නිත්තවෙල ක්‍රීඩාංගණය

තරගය ආරම්භයේ පටන්ම උණුසුම් ස්වාභාවයක් ගත් අතර ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගැනීමට ගිහාන් ඉශාර සමත් විය. නැවතත් තරගයට අවතීර්ණ වූ ධර්මරාජ ක්‍රීඩකයින් මෙවර තම නායක චාමික පෙරේරා තුලින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් විය.

Dharmarajaනමුත් ධර්මරාජ ක්‍රීඩකයන්ගේ වැරදි නිසා ලබා දුන් දඬුවම් පහර දෙකක් නිසා යලිත් තරගයට අවතීර්ණ වීමට සාන්ත පීතර කණ්ඩායමට හැකිවිය. එම උත්සාහක දිනුම් තුනම ස්ටීවන් සිවරාජ් විසින් සාර්ථක කර ගන්නා ලදි. සාන්ත පීතර කණ්ඩායමේ ඒ. එස්. මෙන්ඩිස් එල්ල කළ වැළැක්වීමක් අනතුරු දායක බව තීරණය කළ විනිසුරු ඉන්ශාෆ් කාදර් මහතා ඔහුට කහ කාඩ් පතක් නිකුත් කළ අතර එම අවස්ථාවන් ප්‍රයෝජන ගත් ධර්මරාජ කණ්ඩායමේ සන්දීප ශිවා වේගවත් ධාවනයක යෙදෙමින් තම කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක් දිනුම වාර්තා කිරීමට සමත් විය.

එහි ප්‍රවර්තනය ගිහාන් ඉෂාර අතින් සාර්ථක වූ අතර තවත් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගැනීමට ස්ටීවන් සිවරාජ් ද සමත් විය. තත්වය එසේ තිබිය දී බවන්ත උඩන්ගමුව ලබා දුන් අගනා පන්දුව මැනවින් හසුරවා ගත් සන්දීප ශිවා තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත්විය. මෙවර ඔහු මීටර 80ක පමණ ප්‍රමාණයක් විශිෂ්ට ධාවනයක යෙදීම කැපී පෙනිනි. බම්බලපිටිය ක්‍රීඩකයන් හට තත්වය තවත් දරුණු කරමින් ධර්මරාජය තම සිව්වන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත්විය. ගිහාන් ඉෂාර එම අපහසු ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් වූ අතර ඒ සමඟ පළමු අර්ධය නිමාවට පත් විය.

පළමු අර්ධය: ධර්මරාජ 27 – 09 සාන්ත පීතර

දෙවන අර්ධය ආරම්භයත් සමඟම ලකුණු තුනක් බම්බලපිටිය කණ්ඩායම ඉදිරියෙන් සටහන් කරන්නට දඬුවම් පහරක් සාර්ථක කරගත් ස්ටීවන් සිවරාජ් සමත් විය.

එනමුත් මද වේලාවකින් ක්‍රියාත්මක වූ ධර්මරාජ කණ්ඩායමේ යෙමින් බාසුරු උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු පරතරය ඉහල දැමීමත් සමඟ තරගයේ පීඩනය තව දුරටත් පීතරයින් මත පැටවෙනු දක්නට ලැබිණි. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් ඒ වන විටත් ධර්මරාජ කණ්ඩායම  ප්‍රබල ස්ථානය රැඳී සිටියේ ය.

කෙසේ වෙතත් පීඩනය මැඩගෙන ක්‍රියාත්මක වූ සාන්ත පීතර කණ්ඩායමේ මොහොමඩ් මොහිදීන් ලකුණු පරතරය අඩු කරමින් තම කණ්ඩායමේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද ස්ටීවන් සිවරාජ් සාර්ථක කරගත්තේය.

කෙසේ වෙතත් මද වේලාවකට පසුව ලැබුණු දඬුවම් පහරක් මගින් මුලු ලකුණු සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ නැංවීමට ධර්මරාජයේ ගිහාන් ඉෂාර සමත් විය. අවසන් මිනිත්තු කිහිපය තුල සාන්ත පීතර කණ්ඩායම  උත්සාහක දිනුමක් වාර්තා කළ ද තරගය ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

සම්පූර්ණ කාලය ධර්මරාජ: 35 – 24 සාන්ත පීතර

ThePapare.com තරගයේ වීරයා: තාරුක ගලපිටගෙදර (ධර්මරාජ)

ලකුණු බෙදී යාම

ධර්මරාජ 
උත්සාහක දිනුම් – සන්දීප ශිවා 2, චාමික පෙරේරා 1, යෙමින් බාසුරු 1, බිනුර බන්ඩාර 1, ගිහාන් ඉෂාර -ප්‍රවර්තන 2 , දඬුවම් පහර 2

සාන්ත පීතර
මොහොමඩ් මොහිදීන් – උත්සාහක දිනුම් 2
ස්ටීවන් සිවරාජ් – දඬුවම් පහර 4, ප්‍රවර්තන 2


කටුගස්තොට සාන්ත අන්තෝනි සහ කොළඹ රාජකීය

රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණය

තරගය ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් ගත් නමුත් වැඩි වාසි අත්කරගන්නා ආකාරයක් පෙන්නුම් කරනු ලැබුවේ අන්තෝනි කණ්ඩායම විසිනි. එනම් 8 වැනි මිනිත්තුවේ දී තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට ඔවුන් සමත් විය.

Royal v St.Anthony'sපුලස්ති දසනායක එම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට චමෝද් වනසිංහ සමත්විය. ඉන් අනතුරුව මිනිත්තු කිහිපයක් පන්දුව දෙපසටම දෝලනය වූ අතර මෙවර රාජකීය විද්‍යාලයේ ප්‍රමුඛ සහ ප්‍රබල අවිය Rolling Maul අවස්ථාවක් මගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට රාජකීය කණ්ඩායමේ හම්සා රීසා සමත් විය. එය සාර්ථකව ප්‍රවර්තනය කළ මොහොම්ඩ් ශාකීර් ලකුණු තත්ත්වය සම කළ අතර ඉන් සුළු වේලාවකට පසුව ඉහළින් ආ පන්දුව මැනවින් ග්‍රහණය කරගත් රාජකීය කණ්ඩායමේ වින්ග් ක්‍රීඩක සාබිත් ෆෙරෝස් විශිෂ්ට උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද ශාකීර් සාර්ථක කරගත්තේය.

කෙසේ වෙතත් ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී රාජකීය පසු පෙල ක්‍රිඩකයන් දෙදෙනෙක් අතර ඇතිවූ සන්නිවේදන ගැටලුවක් මනාව අවබෝධ කරගත් අන්තෝනි කණ්ඩායමේ විශේෂඥ සෙන්ටර් ක්‍රීඩක ජෙහාන් සීලගම තම කණ්ඩායමට පහසු උත්සාහක දිනුමක් ලබා දුන් අතර මරික්කාර් එය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි. නැවතත් රාජකීයයන් ක්‍රියාත්මක වූ අතර මෙවර ජනිදු ඩිල්ශාන් වේගවත් ධාවනයක යෙදෙමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ඉතා අපහසු ප්‍රවර්තනයක් වූ එය ශාකීර් අතින් අසාර්ථක විය.

පළමු අර්ධය : රාජකීය 19 – 14 සාන්ත අන්තෝනි

මෙවර ද දෙවන අර්ධයේ ආරම්භය රාජකීයයන්ට එතරම් සුබදායී නොවීය. දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් ගත වන විට සාන්ත අන්තෝනි කණ්ඩායම ප්‍රවර්තනය කළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය.

එහි දී රාජකීය කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩා රටාවේ මදි පාඩුකම් රැසක් දක්නට ලැබිණි. කෙසේ වෙතත් රාජකීයයන් තරගයට නැවත වරක් අවතීර්ණ වෙමින් ප්‍රොප් ක්‍රීඩක අශේන් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් වාර්තා කලේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක වූ නමුත් අන්තෝනි ක්‍රීඩකයන් නැවත වරක් උත්සාහක දිනුමක් සමඟ තරගයට අවතීර්ණ විය.

මෙවර නායක දිනුක් අමරසිංහ ලබා දුන් පන්දුව මැනවින් හසුරවා ගත් සනේශ් වීරකෝන් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ජනිදු හිම්සර එම උත්සාහක දිනුම සාර්ථක ලෙස ප්‍රවර්තනය කරන ලදි. ඒ වන විට තරගයේ මිනිත්තු 60 ගෙවී ගොස් අවසන් විය.

එතැන් පටන් රාජකීය විද්‍යාලයේ ප්‍රහාරය ක්‍රියාත්මක වන්නට විය. එය යම්කිසි ආකාරයක සඟවාගෙන සිටි අවි එලියට ගත්තා වැනි විය. ලකුණු පුවරුව ක්‍රිකට් ලකුණු පුවරුවක් මෙන් වේගයෙන් ක්‍රියාත්මක වන්නට වූ අතර ප්‍රථම උත්සාහක දිනුම නායක ඔවින් ඇස්කි විසින් වාර්තා කරන ලදි එය සාර්ථක කරගත් ශාකීර් තවත් දඬුවම් පහරක් මගින් එක් ලකුණක වාසියත් සමඟ ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

නැවතත් ක්‍රියාත්මක වූ සාබිත් ෆෙරොස් අන්තෝනි ආරක්ෂක වලල්ල මැදින් වේගවත් ධාවනය යෙදමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඉන් මද වේලාවකට පසුව රාජකීය විද්‍යාලයේ ප්‍රධාන අවිය වන Rolling Maul මගින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හම්සා රීසා සමත් විය. ඉන් මද වේලාවකට අනතුරුව විනිසුරු රොහාන් ප්‍රනාන්දු මහතා තරගයේ අවසන් නලා හඬ ගුවනට මුසු කළේය.

සම්පූර්ණ කාලය : රාජකීය 48 – 35 සාන්ත අන්තෝනි

ThePapare.com තරගයේ වීරයා: ඔවින් ඇස්කි (රාජකීය)

ලකුණු බෙදී යාම

රාජකීය විද්‍යාලය
උත්සාහක දිනුම්  හම්සා රීසා 2, සාබිත් ෆෙරෝස් 2 , ඔවින් ඇස්කි ,ජනිඳු ඩිල්ශාන් , අශේන් ප්‍රනාන්දු
ප්‍රවර්තන – මොහොමඩ් ශාකීර් -5

සාන්ත අන්තෝනි විද්‍යාලය
උත්සාහක දිනුම් – ජෙහාන් සීලගම 1, දිනුක් අමරසිංහ 1, පුලස්ති දසනායක 2, ජනිඳු හිම්සර, සනේශ් වීරකෝන්
ප්‍රවර්තන – ජනිඳු හිම්සර 3, චමෝද් වනසිංහ 1, මොහොමඩ් මක්කරිම් 1

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට