කවීන්ගේ ශතකය නිසා ලුම්බිණියට ප්‍රථම ඉනිමේ ජයක්

343
U19 School Cricket

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වූ ලුම්බිණි විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අතර තරගයේ දී ප්‍රථම ඉනිමේ ජයක් අත්කර ගන්නට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් වූහ. සිය විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක නියැලුණු ලුම්බිණි විද්‍යාලයේ කවීන් පීරිස් ශතකයක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

පසුගිය ලිපි: ශාන්ත ජෝසප්, ආනන්ද සහ තර්ස්ටන්ට ප්‍රථම දිනයේ වැඩි වාසි

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ලුම්බිණි විද්‍යාලයේ නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ජනාධිපති විද්‍යාලයට ලබා දුන්නේය. එම ඇරයුමට පිලිතුරු වශයෙන් ජනාධිපති විද්‍යාලයේ පිතිකරුවන් ලකුණු 265ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට සමත් විය. ඒ පන්දුවාර 78යි පන්දු 2කට මුහුණ දෙමිනි. ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් ඩිල්ශාන් සිගේරා (59) හා මාලක ද සිල්වා (52) අර්ධ ශතක රැස් කරද්දී, සචිත් ලියනගේ ලකුණු 48කින් තම දායකත්වය ජනාධිපති විද්‍යාලයට ලබා දුන්නේය. පන්දු යැවීමේදී ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් කණිෂ්ක මදුවන්ත ලකුණු 64කට කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් විය.

ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලීය පිතිකරුවන් ජනාධිපති විද්‍යාලයේ පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අභියෝගයට සාර්ථක පිලිතුරක් ලබා දුන්නා යැයි කිවහොත් නිවැරැදිය. ඒ සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 320ක් සටහන් කරමිනි. තම විද්‍යාලයේ නම ඉහළින්ම ඔසවා තැබූ කවීන් පීරිස් මනරම් පහරවල් වලින් පිරිපුන් විශ්වාසනීය ඉනිමක නිරත වෙමින් අගනා ශතකයක් (101) ලබන්නට සමත් විය. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෙන්වූ කණිෂ්ක මදුවන්ත මෙවර පිත්තෙන් ද සාර්ථක වෙමින් ලකුණු 46ක් රැස් කලේය. විනූ හේමාල් ලකුණු 42යි. මෙම පිතිකරණ දක්ෂතා හේතුවෙන් ලුම්බිණි විද්‍යාලීය ක්‍රීඩකයින් ජනාධිපති විද්‍යාලීය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 55ක් ඉදිරියෙන් සිටිමින් සිය ඉනිම නිමා කරන්නට සමත් විය. ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් ඩී. සී. වික්‍රමසූරිය කඩුලු 5ක් ද ප්‍රමුක ගයේශාන් කඩුලු 4ක් ද බිඳ හෙලන්නට සමත් විය.

දිනයේ යැවීමට තිබූ ඉතිරි පන්දුවාර කිහිපය ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ජනාධිපති විද්‍යාලයේ පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 50ක් ලබා සිටියහ. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් තනුක දාබරේ කඩුලු 2ක් බිඳ හෙලද්දී තරගයේ අවසානය තෙක්ම පිටියේ රැඳී සිටි ඩිල්ශාන් සිගේරා නොදැවී ලකුණු 31ක් වාර්තා කරන්නට සමත් විය.

ජනාධිපති විද්‍යාලය, රාජගිරිය – සියල්ලන්ම දැවී 265 (පන්දුවාර 78.2) ඩිල්ශාන් සිගේරා 59, සචිත ලියනගේ 48, මාලක ද සිල්වා 52, කණිෂ්ක මදුවන්ත 3/64.

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 320 (91.1) කවීන් පීරිස් 101, කණිෂ්ක මදුවන්ත 46, විනූ හේමාල් 42, ඩී. සී. වික්‍රමසූරිය 5/61, ප්‍රමුක ගයේශාන් 4/56.

ජනාධිපති විද්‍යාලය, රාජගිරිය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 50 (පන්දුවාර 11) ඩිල්ශාන් සිගේරා 31*, තනුක දාබරේ 2/20.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට