සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙන්ම මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ද අනුශූරයින් ලෙස අභිෂේක ලැබූ ප්‍රබල මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය මේ වසරේ අවසාන පාසල් රග්බි තරගාවලිය වූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරයින් ලෙස අද (8) අභිෂේක ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමිනි.

පළඟ ශූරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය දිනාගද්දී, බඳුන ශූරතාවය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත්, පලිහ ශූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් දිනා ගන්නා ලදි. මේ සාන්ත ජෝසප් විද්‍යාලය අන්තර් පාසල් සත් සාමාජික ශූරතාවයක් දිනා ගත් පළමු වතාවයි.

අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ

සිංගර් ලීග් රග්බි තරගාවලිය හා මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව….

තරගාවලිය දින දෙකක් පුරා කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ඊයේ (7) පළමු වටයේ තරගවලින් අනතුරුව අද අර්ධ අවසාන පූර්ව වටයේ සිට අවසාන මහා තරග දක්වා කුසලාන, පළඟ, බඳුන හා පලිහ කාණ්ඩ යටතේ තරග පැවැත්විය.

ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය හා ජනාධිපති කුසලානය දිනූ සාන්ත පීතර විද්‍යාලය තරගාවලියට සහභාගි නොවුණු අතර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට එක්නොවූ රාජකීය විද්‍යාලය මෙවර සත් සාමාජික තරගාවලියට සහභාගී විය. කණ්ඩායම් 22ක් කාණ්ඩ හයක් යටතේ පළමු අදියරේ දී තරග වැදුණි.

කුසලාන ශූරතාවය වේගවත් සාන්ත ජෝසප්වරුන්ට

තරගාවලියේ ප්‍රධානතම කාණ්ඩය වූ 2018 පාසල් සත් සාමාජික ශූරයින් තීරණය වන කුසලාන ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, රාජකීය විද්‍යාලය, වේල්ස් කුමාර විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය ඊයේ සුදුසුකම් ලබා ගන්නා ලදි.

පළමු අර්ධ අවසාන පූර්ව තරගය ලෙස පසුගිය වසර දෙකේ ශූරයින් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත්, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත් තරග වැදුණු අතර සාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රබල තරගයක් ලබා දෙමින් ලකුණු 12-26ක් ලෙස පසුගිය වසරේ ශූරයින් කුසලානයෙන් ඉවතට ඇද දමන්නට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් විය.

දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එකදු ලකුණක් හෝ ලබා නොදී පහසු ජයක් වාර්තා කරන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත්වූ අතර සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට දරුණු පරාජයක් අත්කර දෙන්නට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය.

තියුණු සටනකට පසු සාන්ත පීතර ක්‍රීඩකයින් ජනාධිපති කුසලානය දිනා ගනියි

කොළඹ තුරඟ තරග පිටිය දෙවනත් කරමින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන…

තෙවන අර්ධ අවසාන පූර්ව වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ලීග් ශූරතාවය දිනූ කොළඹ රාජකීය විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තරගාවලිය පුරා ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ මහනුවර විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ .රාජකීයයින් තරගයේ සෑහෙන වෙලාවක් පසුපසින් සිටියත් අවසාන මිනිත්තු කිහිපයේ අවාසනාවන්ත ලෙස විද්‍යාර්ථ ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණය උදුරා ගන්නට ප්‍රබල රාජකීයයෝ සමත් වූහ.

සාන්ත තෝමස් විද්‍යාලය 12 26 සාන්ත අන්තෝනි විද්‍යාලය
විද්‍යා විද්‍යාලය 00 31 සාන්ත ජෝසප්  විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 21 29 රාජකීය විද්‍යාලය
වේල්ස් කුමර විද්‍යාලය 00 54 ඉසිපතන විද්‍යාලය

පළමු කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් ලකුණු 19-14ක තියුණු ජයක් වාර්තා කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වූයේ අවසාන මිනිත්තුවේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට ලැබුණු අනගි අවස්ථාවක් ඉතා දක්ෂ ලෙස ව්‍යර්ථ කරමිනි.

දෙවන කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය ප්‍රබල සටනක නිරත වූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ට වරින්වර කහ කාඩ්පත් ලබා ඉවතට යන්නට සිදුවීම කණ්ඩායම් දෙකටම ඉතා අවාසියක් විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-7ක් ලෙස ලකුණු දෙකකින් පෙරමුණේ සිටි රාජකීයයෝ දෙවන අර්ධයේ දී ජනිදු දිල්ශාන්ගේ සුපිරි ක්‍රීඩා විලාසයත් සමඟ ලකුණු 28-12ක් ලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය.

අවසාන මහා තරගයේ දී ලීග් තරගාවලියේ කිරුල සඳහා සටන් කළ ප්‍රධානතම ප්‍රතිවාදීන් වූ කොළඹ රාජකීය විද්‍යාලයත් සාන්ත ජෝසප් විද්‍යාලයත් තරග වැදුණු අතර දින දෙකක දැඩි වෙහෙස නිසා තරගය අතරතුර ක්‍රීඩකයින් වරින්වර ආබාධවලට ලක්වීම කැපී පෙනුණි.

කෙසේ වෙතත් 2 වන මිනිත්තුවේ තුලයිබ් හසන් රාජකීයයින් වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ඊට පිළිතුරු ලෙස 4 වන මිනිත්තුවේ දී ඉමේෂ් දිසානායක සාන්ත ජෝසප් ක්‍රීඩකයින් වෙනුවෙන් උත්සාහක දිනුමක් රැස්කර ගැනීමට සමත් විය.

7 වන මිනිත්තුවේ විශිෂ්ට ධාවනයක් සමඟින් කේෂාන් කාවින්ද දෙවන සාන්ත ජෝසප් උත්සාහක දිනුම වාර්තා කළ අතර 8 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් හිමි වීමේ වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් ජනිදු දිල්ශාන් රාජකීයයින්ව නැවතත් තරගයට ගෙන ආවේය. කෙසේ වෙතත් 12 වන මිනිත්තුවේ දී ඉමේෂ් නැවතත් දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට සත් සාමාජික කිරුල හිමිකර දෙමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලය 21 (3T,3C) 12 (2T,1C) රාජකීය විද්‍යාලය

 

පළඟ ශූරතාව වේගවත් විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමඟ මහනුවරට

පළමු පළඟ අවසන් පූර්ව තරගයේ දී ගියවර ශූරයින් වූ සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස විද්‍යා විද්‍යාලය තියුණු තරගයකින් පසුව පරාජය කළ අතර අවාසනාවන්ත ලෙස පළඟ ශූරතාවයට ඇද වැටුණු විද්‍යාර්ථ ක්‍රීඩකයෝ වේල්ස් කුමාර විද්‍යාලය ඉතා පහසුවෙන් දැවැන්ත ලකුණු පරතරයකින් පරාජය කිරීමට සමත් වූහ.

සාන්ත තෝමස් විද්‍යාලය 19 14 විද්‍යා විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 45 05 වේල්ස් කුමර විද්‍යාලය

පළඟ අවසන් මහා තරගයේ දී විශිෂ්ට දස්කම් පෙන්වමින් ගියවර ශූරයින් හිස් අතින් ගෙදර යවන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය. ඔවුන්ගේ විශිෂ්ට පන්දු යොමු කිරීම් හා වේගය හමුවේ සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු රැස්කර ගැනීමට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැත.

සාන්ත තෝමස් විද්‍යාලය 00 28 විද්‍යාර්ථ විද්‍යාලය

 

බඳුන ශූරතාවය කිංග්ස්වුඩ් මහත්වරු රැගෙන යති

කිංග්ස්වුඩ් විද්‍යාලය ද තරගාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර ඔවුන්ට ද කුසලාන ශූරතාවයේ අසුන අවාසනාවන්ත ලෙස අහිමි විය.

ලුම්බිණි ක්‍රීඩකයින්ගේ ආක්‍රමණයට ඉවසීමෙන් ක්‍රීඩා කළ මලියදේව ක්‍රීඩකයෝ හා සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයට දරුණු පරාජයක් අත්කර දුන් ප්‍රබල කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී, නාලන්ද විද්‍යාලයටත් එවැනිම පරාජයක් අත්කර දෙන්නට ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ සමත් වූහ.

තෙවන අර්ධ අවසන් පූර්ව වටයේ දී සහිරා විද්‍යාලයට නොසිතූ පරාජයක් අත්කර දෙන්නට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

මලියදේව විද්‍යාලය 26 15 ලුම්බිණි විද්‍යාලය
සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය 00 41 කිංග්ස්වුඩ් විද්‍යාලය
සහිරා විද්‍යාලය 15 19 තර්ස්ටන් විද්‍යාලය
නාලන්දා විද්‍යාලය 00 52 ඩි. එස් සේනානායක විද්‍යාලය

පළමු බඳුන අවසන් පූර්ව තරගයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කරමින් අවසන් තරගයට තේරී පත්වුණු අතර සහිරා විද්‍යාලය ද පරාජය කළ තර්ස්ටන් විද්‍යාලය ඩී. එස්. සේනානායක විද්‍යාලයට ද නොසිතූ පරාජයක් අත්කර දෙන්නට සමත් වූයේ අවසන් තරගයට පිවිසෙමිනි.

අවසන් මහා තරගය සම්පූර්ණයෙන් සියතට ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් වුන අතර තර්ස්ටන් විද්‍යාලයට එකදු ලකුණක් හෝ රැස්කර ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ඉඩ ඉතිරි කළේ නැත.

කිංග්ස්වුඩ් විද්‍යාලය 29 00 තර්ස්ටන් විද්‍යාලය

 

පලිහ ශූරතාවය ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට

පලිහ ශූරතාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය සඳහා මොරටු මධ්‍ය මහා විද්‍යාලයත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් තරග වැදුණු අතර ලකුණු 24-05ක් ලෙස පහසු ජයක් හිමිකර ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ මහානාම විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය නිතරගයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙද්දී, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය පරාජය කළ ගාල්ල ඇලෝසියස් විද්‍යාලය ලකුණු 14-24ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් විය.

මොරටු ක්‍රීඩකයෝ සභාපති කුසලානය ජයග්‍රහණය කරති

සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලිය අද (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණය…

පලිහ ශූරතාවයේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත්, කොළඹ මහානාම විද්‍යාලයත් තරග වැදුණු අතර ලකුණු 38-10ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට රිච්මන්ඩ්වරු සමත් විය. තියුණු තරගයකින් අනතුරුව රිච්මන්ඩ්වරුන්ගේ රග්බි ප්‍රතිවාදීන් වූ සාන්ත ඇලෝසියස් විද්‍යාලය පරාජය කරන්නට පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලය සමත් විය. (පිළියන්දල 12-05 ඇලෝසියස්)

පලිහ ශූරතාවය සඳහා පිළියන්දලත්, ගාල්ලත් සටන් වැදුණු අතර ඉතා තියුණු තරගයක පසුව ලකුණු 21-19ක් ලෙස තරගය ජය හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<