Kolkata Knight Ridersට නව නායකයෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

549

මාර්තු මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායමේ නායකත්වය Shreyas Iyerට ලබා දීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා.

“IPL වෙන්දේසියේ දී Shreyas Iyer හට සාර්ථකව ලංසු තැබීමට හැකි වීම පිළිබඳව සහ ඔහුට නායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙනවා. ඔහු විශිෂ්ට පිතිකරුවෙකු ලෙස සියල්ලන් විමතියට පත්කර ඇති අතර ඔහු නායකයෙකු ලෙස ද සාර්ථක වනු ඇතැයි අප විශ්වාස කරනවා”, යැයි එහි හිමිකරුවන් ප්‍රකාශ කළා.

නිමා වූ ක්‍රීඩක වෙන්දේසියේ දී Shreyas Iyerව ඉන්දීය කෝටි 12.5කට ලබා ගැනීමට Kolkata Knight Riders කණ්ඩායමට හැකි වූ අතර ඔහුගේ පෙර කණ්ඩායම වූ Delhi Capitals ද කෝටි 9.5ක් වනතුරු ඔහුව ලබා ගැනීමට උත්සහ කළා.

නමුත් අවසානයේ දී ප්‍රථම වරට Iyer, Kolkata Knight Riders කණ්ඩායමට තේරී පත්වූ අතර එය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,

“Kolkata Knight Riders වැනි විශිෂ්ට කණ්ඩායමක් නියෝජනය කරන්න ලැබුණ එක මට ලැබූ විශාල ගෞරවයක්. විවිධ රටවල්වල සුපිරි ක්‍රීඩකයින් නියෝජනය කරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම විශිෂ්ට කණ්ඩායමට නායකත්වය දීමට මම බලාපොරොත්තු වෙනවා. මෙම කණ්ඩායමට නායකත්වය දීමට මාව තෝරාගැනීම පිළිබඳව මම කණ්ඩායම් කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වෙනවා.”

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් Kolkata කණ්ඩායමට සහ Eden Gardens පිටියට පොහොසත් ඉතිහාසයක් තියෙනවා. මම එම ඉතිහාසය ඉදිරියට ගෙන යමින් ඒ ප්‍රේක්ෂකයන්ට ආඩම්බරයක් ගේන්න බලාපොරොත්තු වෙනවා”, යනුවෙනුයි.

Shreyas Iyerට අදහස් දක්වමින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Brendon McCullum ප්‍රකාශ කර සිටියේ,

ඉන්දියාව වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් ඇති පිතිකරුවෙකු ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මම ඔහුගේ ක්‍රීඩා විලාශය සහ ඔහුගේ නායකත්ව දස්කම් ගැන දුර සිට රසවින්දා. දැන් ඔහු සමඟින් වැඩ කර කණ්ඩායම සාර්ථකත්වයට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා”

2015 සිට ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය නියෝජනය කළ Shreyas Iyer 2020 වසරේ දී Delhi Capitals කණ්ඩායමේ නායකත්වය දරමින් අවසන් මහා තරගයට කණ්ඩායම රැගෙන ඒමට සමත් වුනා.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<