නුවන් ප්‍රදීප්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන් තරග සංචාරය සහ ලෝක කුසලාන T20 තරග සංචාරය 2021

7424
Nuwan Pradeep

ඕමානය සමඟ පසුගිය දා (7) පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුර පාදයේ කලවා ආශ්‍රිත මස්පිඩු ඇදීමකට (hamstring) ලක්ව ආබාධයකට ලක්වුනු, ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හට ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මඟ හැරී යන බව වාර්තා වෙනවා.

Al Amerat ක්‍රීඩාංගණයේ පැවති පළමු පුහුණු විස්සයි විස්ස තරගයේ දී ප්‍රදීප් පන්දුවාර 2ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 7කට කඩුලු 2ක් දවා ගැනීමට ඔහු සමත් වුනා. කෙසේ නමුත් මේ තරගය අතරතුර පන්දු රකිමින් සිටිය දී ප්‍රදීප්ට ඇතිවුණු මේ ආබාධ තත්වය සුවවීම සඳහා අවම වශයෙන් සති දෙක – තුනක පමණ කාලයක් ගත වන බව ද වාර්තා වෙනවා.

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය අද (9) ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර දැනට 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි.

මේ තරගයට පසුව එළඹෙන ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන අවසන් ක්‍රීඩකයින් 15 නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිටිනවා. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන සංචිතවල අවසන් ක්‍රීඩකයින් 15 දෙනාගේ නම් ලැයිස්තුව ඔක්තෝබර් 10 වැනි දිනට පෙර ICC වෙත ලබා දිය යුතු වනවා.

බොහෝ විට ප්‍රදීප්ට එම ක්‍රීඩකයින් 15 අතරට තේරීපත් වීමට නොහැකි වනු ඇත. ඒ නිසාවෙන් ඔහු ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ සිය ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වෙනු ඇත.

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ලක්ම මේ වන විට සූදානමින් වෙමින් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<